Home » කියවන්නට නොව: නරඹන්නට නවකතාවක්!

කියවන්නට නොව: නරඹන්නට නවකතාවක්!

by sachintha
May 27, 2024 1:46 am 0 comment

කලකට පසුව ආකර්ෂණීය සිංහල නවකතාවක් කියවන්න ලැබිණි. එය රූපමය කාව්‍යයක් ලෙස හෝ විචිත්‍ර ගද්‍ය කාව්‍යයක් ලෙස හෝ හැඳින්වීමේ ද වරදක් නැත. ඒ රසිකා සෝලංගආරච්චිගේ “පෙරඹර කළුවර” නම් ප්‍රබන්ධ කතාවයි. එය සත්‍ය සිදුවීම් මාලාවක් පාදක කොට රචනා වූ නවකතාවක් යැයි ද කිව හැකිය. පළමුව එය අපේ සමාජ – ආර්ථික විපරිණාමය පදනම් කරගත් යථාර්ථවාදී කතාවකි. ඉංග්‍රීසි පාලන සමයේ සිට මෑතක් වනතුරු අපේම සමාජ කණ්ඩායමක ගමන් මඟ එයින් චිත්‍රණය කෙරේ. එකී සමාජ කණ්ඩායමේ ආරම්භය – නැග්ම – උපරිමය – බැස්ම හා විනාශය නවකතාකාරිය අතින් අපූරුවට විවරණය වෙයි. දෙවනුව එය මානව සමාජ කණ්ඩායමක පොදු ඉරණම සටහන් කරයි. ඒ අතින් බලනවිට එය දාර්ශනික කතාන්දරයකි. තෙවනුව එය අප ඉතිහාසය තුළ අත්දුටු පෙරැළියක් සේ ආවර්ජනය කළ හැකිය. එවිට එය ඓතිහාසික නවකතා ශානරයට හෝ සමාජ විද්‍යාත්මක නවකතා ශානරයට හෝ ඇතුළත් කළ හැකිය.

මේ ප්‍රබන්ධය ඔස්සේ ඉස්මතු වන වැදගත් ලක්ෂණ තුනක් කෙරෙහි පාඨක අවධානය ‍ෙයාමු කරන්නට කැමැත්තෙමු.

(I) කෘතියෙන් මතුවන සමාජ – ආර්ථික තොරතුරු

(II) චරිත, සිද්ධි, හා පසුබිම නිරූපණය සඳහා කතුවරිය යොදාගනු ලබන ශිල්පක්‍රම

(III) පාඨක වින්දනය අලුත් ප්‍ර‍ෙව්ශයක් කරා ගෙනයෑමට කතුවරිය දක්වන පරිශ්‍රමය

සාහිත්‍ය කෘති කිසියම් සමාජයක තොරතුරු දක්වන මූලාශ්‍ර ලෙස ද ගණන් ගනු ලැබේ. එහිලා වැදගත් වන්නේ ඉතිහාසය පිළිබඳ පිළිගත හැකි හා තාර්කික තොරතුරු මතු කරන කෘතීන්ය. ඒවා පර්යේෂණ ලෙස ද සැලකිය හැකිය. ලෝක සංග්‍රාම, ආර්ථික අවපාත, ස්වාභාවික මහා විපත්ති පිළිබඳ කරුණු ගවේෂණය කරන උගත්තු මෙලෙස ප්‍රබන්ධ – කතා භාවිත කරති. ඒවායෙහි උපුටන සාක්ෂි ලෙස උපුටා දක්වති. පෙරඹර කළුවර නවකතාව ද එලෙස භාවිතයට ගත හැකි වැදගත් කෘතියකි. එබැවින් එය කාගේත් අවධානයට ලක්වනු ඇත.

අපේ සමාජ – ආර්ථික ක්‍රම විකාශයෙහි විශේෂ අවස්ථා කිහිපයක් පෙන්වා දිය හැකිය. කෝපි වගාව, තේ වගාව, මිනිරන් නිෂ්පාදනය, තොග වෙළෙඳාම, ඉඩම් හිමි වැවිලිකරුවන්ගේ සමාජ බිහිවීම ආදිය ඊට නිදසුන්ය. මේ සෑම අවස්ථාවක්ම පාදක කොට අලුත් ආර්ථික පන්ති බිහිවිය. ඒවා ධනවාදය ස්ථාපනය කළ අතර වැඩවසම් සමාජ ක්‍රමය සමඟ ගැටුම් ඇති කර ගත්තේය. එහිදී වැඩවසම් ගති – ලක්ෂණ පරාජයට පත්වී ධනවාදී සමාජ ප්‍රවාහය ඉදිරියට ගමන් කළේය. මේ සිදුවීම් මාලාව අපූරු කතාන්දරයකි. සමාජ – සිදුවීම් විනිවිද ගොස් සත්‍යය මතු කරගැනීම දුෂ්කර හා සූක්ෂ්ම ක්‍රියාවලියකි. කතුවරිය එම ව්‍යායාමය ජයගෙන තිබේ.

අපේ බලවත් ව්‍යාපාරිකයන් බොහොමයකගේ ඇත්ත කතාව සුන්දර නැත. එලෙසම ඔවුන් දියුණුවක් ලබා ඇත්තේ අතිශය බරපතළ අභියෝග ජයගනිමින් දුෂ්කර ගමන් මඟක් පසුකිරීමට තරම් අයෝමය චිත්ත ශක්තියකින් යුතු නිසාය. මේ කතාවේ එන අදිරියන් නම් තරුණයා ද ජීවිතයේ අතරමංවූ අසරණ චරිතයකි. එහෙත් ඔහු ස්වකීය උත්සාහයෙන් ද, උපාය මාර්ගික සැලැසුම්වලින් ද ශක්තිමත් පරම්පරාවක් ඇති කරයි. එය සිත්ගන්නාසුලු ඇත්ත කතාවකි.

මේ ප්‍රබන්ධයේ ආරම්භය උපුටා දැක්වීම වැදගත් යැයි සිතේ. ඒ ඔස්සේ ආධුනික රචකයකුට බොහෝ දේ උගත හැකි බැවිනි.

“ඉර එළිය පොළොවට පතිත වී වැඩි වේලා ගතවී නැත. තණපත් මත වූ පිනිකැට දිලිසෙන්නේ වීදුරුවකට ඇතිරුවාක් මෙනි. කළුගල් දමා තැළූ පාරේ ඇත්තේ තෙත් ගතියකි.”

“මේ වර්ෂ එක්දහස් අටසිය හැටේ නිකිණි මාසයේ උදෑසනකි. ස්ථානය: නුවර – කොළඹ පාරේ හෙනරත්ගොඩ මංසන්ධියයි.”

(පිටුව < 11)

හෙනරත්ගොඩ මංසන්ධියේ හැටි – සොබාව විස්තර කරන කතුවරිය ඊට ශක්තිමත් ආරම්භයක් ගනියි. එය සජීවී දර්ශන පෙළක් පාඨක මනසෙහි චිත්‍රණය කරයි. හරියටම කිවහොත් සම්භාව්‍ය සිනමා සිත්තමක් ආරම්භ වන ආකාරය සිහියට නැඟෙයි. මෑතකාලයේ නවකතා විචාරකයන්ගේ නිබඳ කතාබහට ලක්වන සජීවී නිරූපණය යන්න මෙහිලා නිදසුන් කරගත හැකියි. එය ආකර්ෂණීය ආරම්භයකි. පාඨක සිත වහා බැඳගනියි.

කලා විචාරකයකු, නීති විශේෂඥයකු හා වාග් විද්‍යාඥයකු ද වන මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් මේ නිපුණතාව විග්‍රහ කිරීම සඳහා වචන දෙකක් භාවිත කරයි.

(I) Syntax

(II) Glitter

පළමු වචනය, පද ගටනාවා පදලා ලින්‍යය වචන ගැළපීම ආදී ලෙසින් අර්ථගැන්විය හැකිය. සාර්ථක රචකයා වචන ගැළපීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරිය යුතු බව මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් පෙන්වා දෙයි. ඔහුගේ අර්ථ දැක්වීමට අනුව නවකතාවක පළමු වාක්‍යය අතිශයින්ම වැදගත්ය. දෙවන වචනයෙන් කියැවෙන්නේ පද ලාලිත්‍යය ඔස්සේ මතුවන විචිත්‍රභාවයයි හෙවත් බැබළීමයි.

රසිකා සිය කතාවේ සංවාද කෙරෙහි දක්වන උනන්දුව බොහෝ දෙනකුගේ සැලකිල්ලට ලක්වනු ඇත.

“මොකද ඉලන්දාරියා යන්ට ආ අත නිම්මි නැතිවුණා ද?

“එය මේ කොයි අත යම් ද කියලා හිතාගන්නට බැරුවයි උන්නෙ!,

“බොලා කොයි ඉසව්වේ ද?”

“මං මීගමුවෙ පිටිපන ඉසව්වෙ මාමණ්ඩි!”

“සෑහෙන්ට දුරයි නොවැ මේ කොයි යන්නෙ?”

“ඒක ටිකක් දිග කතාවක් මාමණ්ඩි!”

(පිටුව < 12)

කරත්ත තවලමේ නායකයා වන සුවඳහාමි හා අදිරියන් හමුවන අවස්ථාව නිරූපණය වන්නේ ඉහත සඳහන් ලෙසය. එහි ඇති සජීවී බව, අව්‍යාජත්වය හා යටි අරුත් කෙරෙහි කතුවරිය දක්වා ඇති අවධානය අපගේ විමසුමට ලක්විය යුතුය. ප්‍රබන්ධ කතාවක සංවාදවලදී සැලකිල්ල යොමු කළ යුතු කරුණු ගණනාවක් තිබේ.

(I) සජීවී බව

(II) අව්‍යාජත්වය‍

(III) යටි අරුත්

(IV) රිද්මය

(V) ප්‍රතිමුඛ චරිතයේ ප්‍රතිචාරය

(VI) තාර්කිකබව

(VII) කාලය හා පසුබිම

(VIII) අවස්ථාව

රසිකා සේලංගආරච්චි ඉහත සඳහන් සාධක සියල්ල කෙරෙහි සිය සූක්ෂ්ම අවධානය යොමු කර තිබේ. නූතන නවකතාව සංවාද කෙරෙහි කෙතරම් උනන්දු වන්නේ ද කියතොත්, සමහර කතාකරුවෝ නවකතාවේ සංවාද පළමුව රචනා කර පසුව සංස්කරණය කරමින් කතාවට පුරුද්දති. පෙරඹර කළුවර නවකතාවේ සංවාද ඉතා ප්‍රාණවත්ය. පරිපූර්ණය.

නූතන සිංහල ස්වතන්ත්‍ර නවකතා දෙස ආපසු හැරී බැලුවහොත් පොදු දුර්වලතා කිහිපයක් සිහිපත් කිරීමට සිදු වේ.

(I) ඒකාකාරී බව

(II) නිරූපණය වෙනුවට විස්තර කිරීම

(III) කතාන්දරය අමතක කිරීම

(IV) අන්තර්ගතය පිළිබඳ පර්යේෂණයක් නැතිකම

(V) සංවාදවල අතාර්තික බව

ඇතැම් නවකතාවල චරිත කතා කරන්නේ ඔවුන්ගේ භාෂාවෙන් නොව, කර්තෘගේ භාෂාවෙන්ය. එම සංවාදවල කිසිදු සජීවී බවක් නැත. බොහොමයක් නවකතාවල ආරම්භයේ ඇති රිද්මය හා ප්‍රාණවත් බව කතා විකාශයේ දී දැකගන්නට නැත. රසිකා, සිය කතාවේ ආරම්භයේදී ගනු ලබන රිද්මය හා ප්‍රාණවත් බව අවසානය තෙක්ම රඳවා ගනී. එය කියැවීමේ රුචිය ඇති කරන පරිපූර්ණ නවකතාවකි.

කතුවරිය මේ නවකතාව සඳහා පාදක කරගනු ලබන පසුබිම අපට හුරුපුරුදු එකක් නොවේ. එය කරත්ත උප සංස්කෘතිය ලෙස හැඳින්විය හැකිය. කිසිවකුගේ අවධානයට ලක් වී නැති මේ ක්ෂේත්‍ර‍ෙය් සිදුවීම් කුහුලෙන් යුතුය. රසිකා එයින් හොඳහැටි ප්‍රයෝජන ගනියි. එලෙසම ඇය සිය ප්‍රබන්ධය සඳහා සැලකිය යුතු පරිශ්‍රමයක යෙදී ඇති බව පෙනෙයි.

පාඨකයා චමත්කාරයෙන් යුතු අලුත් ලෝකයක් වෙත රැගෙන යෑම මේ කතාවේ තවත් විශේෂත්වයකි. කතුවරිය ඒ සඳහා පසුබිම් නිරූපණය මනා ලෙස යොදා ගනී.

“එළිය වැටීගෙන එද්දී කරත්තකරුවන් ලහි ලහියේ නැඟිට සූදානම් වූයේ ගමනටය. කරත්ත ගාල සෙවණ කළ විශාල නුග ගස්වල අතු පතරින් ළාහිරු රැස් තීරු – තීරු පොළොවට වැටෙයි. පෙරදිග අහසේ ඈතින් වලාකුළු අතරින් ළා පැහැති ඡායාවක් ලෙස පෙනෙන කඳු මුදුනකි. ඒ දෙස බැලූ සුවඳහාමි දොහොත් මුදුන් දී වැඳ තුන්වරක් සාදුකාරය කීවේ උස් හඬිනි.”

(2 පරිච්ඡේදය ආරම්භය – පිටුව < 21)

පාඨකයා උපරිම ආස්වාදයක් කරා ගෙන යන “පෙරඹර කළුවර” නවකතාව අප කාගේත් අවධානයට ලක්විය යුතු ප්‍රබන්ධයකි.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT