Saturday, May 10, 2025
Home » හපුතලේ නිවෙසකට ගසක් කඩාවැටී මෙහෙකාරිය මරුට – හාම්පුතු යුවළ රෝහලේ

හපුතලේ නිවෙසකට ගසක් කඩාවැටී මෙහෙකාරිය මරුට – හාම්පුතු යුවළ රෝහලේ

by sachintha
May 27, 2024 1:50 am 0 comment

හපුතෙල් පන්කැටිය ප්‍රදේශයේ නිවෙසක් මතට පෙරේදා (25) රාත්‍රී ගසක් කඩා වැටීමෙන් එක් කාන්තාවක ඒතැනම මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා සිටියදී රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඒ. කමලාවතී (65) නමැති අවිවාහක කාන්තාවකි.

අනතුරින් හිලිබට් විතානගේ (85) සහ ඒ.එම්. සෝමාවතී (74) නමැති අඹුසැමි යුවළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මියගිය කාන්තාව මෙම නිවෙසේ මෙහෙකාරියක ලෙස වසර විස්සක කාලයත් තිස්සේ සේවය කරමින් සිට ඇති බවත් ඇය පෙරේදා (25) රාත්‍රි 7.30ට පමණ නිවෙසේ මුළුතැන්ගෙහි ආහාර පිළියෙල කරමින් සිටියදී නිවෙස පිටුපස තිබූ ටර්පන්ටයින් ගසක් සහ ඒ අසල තිබූ කොස් ගසක අත්තක් මුළුතැන්ගෙට කඩා වැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් නිවෙස් හිමි යුවළ තුවාල ලබා තිබෙන අතර එම අවස්ථාවේදීම තිදෙනාම ප්‍රදේශවාසීන් විසින් පන්කැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුවන් දෙදෙනා පසුව දියතලාව රෝහලට මාරු කර යවා තිබෙන බව පොලිසිය කියයි.

ප්‍රදේශයට පවතින අධික සුළං තත්ත්වයත් සමඟ නිතර ගස් කඩා වැටීම් සිදු වී මාර්ග සියල්ල අවහිර වී ඇතැයි පොලිසිය කියයි.

හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි,

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන,

හාලිඇළ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT