Home » පුත්තලම පැරණි මන්නාරම් මාර්ගයේ රජයේ ඉඩමක් ගැන සොයන්න ගිය ප්‍රා/ලේකම්ට මන්ත්‍රීවරයකුගෙන් තර්ජන

පුත්තලම පැරණි මන්නාරම් මාර්ගයේ රජයේ ඉඩමක් ගැන සොයන්න ගිය ප්‍රා/ලේකම්ට මන්ත්‍රීවරයකුගෙන් තර්ජන

by sachintha
May 27, 2024 1:38 am 0 comment

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් නීති විරෝධී ලෙස පිරිසක් අත්පත් කර ගන්නා බවට ලැබුණු පැමිණිලි මත අදාළ ස්ථානයට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහිම් මහතා විසින් ඊයේ (26) දැඩි තර්ජනාත්මක වාග් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට මෙලෙස පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහිම් මහතා තර්ජනාත්මක ලෙස බැනවැදීමත් සමඟ මේ උණුසුම් තත්ත්වයක් මතුව තිබේ. පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පුත්තලම පුද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට පිහිටි අක්කර 10කට ආසන්න ඉඩමක් සම්බන්ධව මාසයකට වැඩි කාලයක් පවතින ගැටලුවක් නිසා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කිසිවකුටත් එම ඉඩමට ඇතුළු නොවන ලෙස දන්වා තිබේ. එසේ තිබියදී පිරිසක් විසින් එම ඉඩමට පසුගිය දින කිහිපයේදී පැමිණ කම්බි ගසා තිබීම සොයා බැලීමට යන අතරතුර මේ සිද්ධිය සිදුව තිබේ. කෙසේ වෙතත් අදාළ ඉඩම තමන්ට අයත් බවට පුත්තලම පදිංචිකරුවන් පිරිසක් ඔප්පු පවා ඉදිරිපත් කරමින් එම ඉඩම තම ලුණු කර්මාන්තයෙන් පසු අස්වැන්න ගබඩා කරගැනීමට දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විය.

ප්‍රාදේශීය ලේකම්වරයා අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතුවල නිරත වෙමින් සිටියදී මේ ස්ථානයට පැමිණි අලි සබ්රී මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනාමක ලෙස බැන වැදි ඇති බව කියයි. එම අවස්ථාවේදී අදාළ ඉඩම තමන්ට හිමි බව කියන පිරිසක් ද කලහකාරී ලෙස හැසිරී තිබේ.

මෙහිදී අලි සබ්රී මන්ත්‍රිවරයා පවසා ඇත්තේ පුත්තලම සම්බන්ධිකරණ කමිටු සභාපති චින්තක මායාදුන්න මහතාගේ වුවමනාට මේ ඉඩම ජනතාවගෙන් ඉවත් කර පුත්තලම පදිංචි වෙනත් අයකුට දීමට කටයුතු කර ඇති බවයි.

ඒ සඳහා පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා ද සහාය දෙන බවට අලි සබ්රී මන්ත්‍රිවරයා චෝදනා එල්ල කරන්නට විය.

මේ සම්බන්ධව පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතා පවසා සිටියේ තමන්ට ඉහල නිලධාරීන්ගෙන් ලැබී ඇති උපදෙස් මත ක්‍රියා කරනවා මිස තනි මතයට ක්‍රියත්මක වීමට නීතිමය පසුබිමක් නොමැති බවයි.

එසේම මේ ඉඩම ඉඩම් ඇමැතිවරයාගේ බලතල අනුව ඉඩම් ආඥා පනතේ 196 නියෝගයට අනුව වර්ණීය පදනම යටතේ දීමට අදාළ කටයුතු කර ඇති බවයි.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT