Monday, May 12, 2025
Home » බරපතළ අනතුරකින් එක්තැන් වී ඇති සාරංගට පිහිටක් වන්න

බරපතළ අනතුරකින් එක්තැන් වී ඇති සාරංගට පිහිටක් වන්න

by sachintha
May 27, 2024 1:40 am 0 comment

මවගේ උපන් දිනය සමරන්න ඉටි පන්දමක් රැගෙන ඒමට නගරයට ගිය පුතා මාස තුනක පමණ කාලයක් පුරා බරපතළ අනතුරකින් කිසිදු සිහිකල්පනාවක් නොමැතිව ඇද මත වැතිරී සිටින පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තා විණි.

හබරණ නිවාස විස්ස ගම්මානයේ පදිංචිව සිටි සාරංග මධුසාර නම් 25 හැවිරිදි මේ තරුණයා මෙලෙස බරපතළ අනතුරකට පත්ව මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් කුමක් සිදුවීද යන්න අනාවරණයවී නොමැත.

රැකියා දස ලක්ෂය වැඩසටහන යටතේ කම්කරු රැකියාවක් ලද මේ තරුණයා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව කම්කරුවකු ලෙස සේවය ආරම්භ කර මාස දෙකක පමණ කෙටි කාලයකදී මෙවන් ඉරණමකට මුහුණ දුන් බව මව්පියෝ පවසති.

මේ පිළිබඳව හැඬූ කඳුළින් අදහස් දක්වන සාරංගගේ මව වන ආර්. එම්. බිසෝ මැණිකේ මහත්මිය මෙලෙස පැවැසුවාය.

“පහුගිය මාර්තු මාමේ දහ තුන් වෙනිදා කේක් ගෙඩියක් ගෙනත් ගෙදර තියලා දා හතර වෙනිදා මගේ උපන්දිනය සමරන්න ඉටි පන්දමක් ගේන්න ගිය මගේ පුතාට වෙච්ච දේ මොකක්ද දන්නේ නෑ.

එදා රෑ 11ට විතර සීගිරිය පොලිසියෙන් ආපු කෝල් එකකින් අපට කිව්වා දඹුල්ල, ඉනාමළුවේ මහ පාරේ බරපතළ තුවාල ඇතුව සිටි තරුණයෙක් කුඩා ලොරියක රියදුරෙක් දැකලා දඹුල්ල රෝහලට ඇතුළත් කරලා කියලා. පස්සෙ පුතාගෙ තාත්තා දඹුල්ල ඉස්පිරිතාලෙට යන කොට පුතාගේ මුළු ඇගේම තුවාල තියෙනවා දැකලා තියෙනවා.

එදා ඉඳලා අද වෙනකල්ම මාතලේ, මහනුවර, දඹුල්ල ඉස්පිරිතාලවලින් පුතාට බෙහෙත් ගන්නවා. ඒත් මේ වෙනකල් පුතාට කිසිම ගුණයක් නෑ. ඇදට වෙලාම ඉන්නවා. කෑම ඔක්කොම බඩ සිදුරු කරලා බටයකින් දමනවා. හුස්ම ගන්න උගුර සිදුරු කරලා පොඩි බටයක් දාලා තියෙනවා.

මගේ පුතාට මොකද වූණේ කියලා මේ වෙනකල් කිසිම තොරතුරක් සීගිරිය පොලිසියට සොයාගෙන නෑ. පුතාගෙ නෝනගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන මාස ගානක් වෙනවා. ඒත් තවමත් පරීක්ෂණ සිදු කරන බව කියනවා.

අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. පුතා ජීවත් කරවන්න ඔන කෑම ටික දෙන්න, ඉස්පිරිතාලෙට අරන් යන්න, අධි පෝෂණ තියෙන කිරිපිටි දෙන්න අපට පුළුවන්කමක් නෑ.

පුතා අපට හරිම ආදරෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවට ගිහින් වැඩි කාලයක් ගියේ නෑ. පුතාට වෙච්ච මේ කරදරය අපට හිතා ගන්නවත් බෑ. මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ හරි අවධානය යොමු කරලා පුතාව රැක ගන්න අපට සහනයක් වෙන්න.”

බරපතළ අනතුරකින් අසරණ වී ඇති සාරංගට පිහිට විය හැකි කෙනකු සිටී නම් ආර්. එම්. බිසෝ මැණිකේ, දඹුලු පාර, හබරණ ලිපිනයෙන් හෝ 076-4279846 දුරකතන අංකයෙන් හෝ තොරතුරු විමසිය හැකිය. ලංකා බැංකුවේ ආර්. එම්. බිසෝ මැණිකේ නමින් ඇති ගිණුම් අංකය 84735658 දරන ගිණුමට මුදල් බැ කිරීමෙන් ද පිහිට විය හැකිය.

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT