Home » මයිකල් ක්ලාක් එල්පීඑල් පිටියට

මයිකල් ක්ලාක් එල්පීඑල් පිටියට

by sachintha
May 27, 2024 1:30 am 0 comment

ලබන ජූලි මස පැවැත්වෙන 05 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපති ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් පත් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් දායකත්වයක් ලබාදීමට නියමිත ක්ලාක් පවසන්නේ තමා ක්‍රීඩා කිරීමට වඩාත් ප්‍රිය කළ රටක් වන ශ්‍රී ලංකාවට පැමිණීමට නොයිවසිල්ලෙන් බලා සිටින බවයි.

“මම ක්‍රීඩා කරන්න ආසාවෙන් සිටි ශ්‍රී ලංකාවට නැවතත් එනකම් මට ඉවසිල්ලක් නැහැ. මට දැන් එන්න ඇවිත් අදහස් දක්වන්න විතරක් නෙවෙයි, එල්පීඑල් එකේ තානාපති කෙනෙක් ලෙස වැඩ කරන්නත් අවස්ථාවක් ලැබී තිබෙනවා. දක්ෂ ක්‍රීඩකයන්, තරුණ ක්‍රීඩකයන් රැසක්, වගේම හොඳ විදෙස් ක්‍රීඩකයනුත් මේ තරගාවලියේ ඉන්නවා. මේ තරගාවලිය සාර්ථක එකක් වෙන බවට සැකයක් නැහැ.” ක්ලාක් පවසයි.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල කැපී පෙනෙන නායකයකු බවට පත්වූ ක්ලාක් 2015 වසරේ එක්දින ලෝක කුසලානය දිනා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීය.

මේ වන විට 43 හැවිරිදි වියේ පසුවන ක්ලාක් වසර 11ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ අතර, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 115ක්, එක්දින තරග 245ක් සහ විස්සයි20 තරග 34කට ද ක්‍රීඩා කළේය. මෙවර එල්පීඑල් තරගාවලිය ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරගාවලිය පසුව රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් අනතුරුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT