Wednesday, May 14, 2025
Home » 23න් පහළ විස්සයි20 ශූරියෝ දඹුල්ලෙන්

23න් පහළ විස්සයි20 ශූරියෝ දඹුල්ලෙන්

by sachintha
May 27, 2024 1:32 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොවුන් ක්‍රීඩිකාවන් වෙනුවෙන් සංවිධානය කළ නැෂනල් සුපර් ලීග් අවුරුදු 23න් පහළ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට විදූශිකා පෙරේරාගේ නායකත්වයෙන් තරග කළ දඹුල්ල කණ්ඩායම සමත් විය.

ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ අවසන් තරගයේදී දඹුලු පිල හමුවේ මනුදි නානායක්කාර මෙහෙයවූ කොළඹ පිල කඩුලු 4කින් පරාජයට පත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ පිල කඩුලු 7ක් දැවී ලකුණු 98ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය දඹුලු ක්‍රීඩිකාවෝ පන්දු 10ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමි කරගනිමිනි.

ආරම්භක පිතිකාරිනි විමෝක්ෂා බාලසූරිය හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ පන්දු 22කින් ලකුණු 27ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, ලිමි තිලකරත්න නොදැවී ලකුණු 21ක් ඉනිමට එක් කළේ හතරේ පහර 3ක් සමඟිනි. පන්දු යැවීමේදී හෂිනි ලියනගේ කඩුලු 3ක් සහ තරුෂි තත්සරණි ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් කොළඹ ඉනිම ඇරඹූ ශිකරි ද සිල්වා පන්දු 29කින් ලකුණු 25ක් රැස් කළ අතර, නිකේෂා විජේසේකර ලකුණු 24ක් ඉනිමට එක් කළාය. පන්දු යැවීමේදී විදූශිකා පෙරේරා කඩුලු 3ක් බිඳ දැමූ අතර, හිරිනි පෙරේරා කඩුලු 2ක් දවා ගත්තාය.

මේ තරගාවලියට මේ දිනවල රට තුළ පවතින අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර, මූලික වටයේදී තරග 12කින් ක්‍රීඩා කිරීමට හැකි වූයේ තරග 4ක් පමණි. කෙසේ වෙතත් පැවැති තරගවලින් දස්කම් දක්වමින් කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අපරාජිතවම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ පිල – 98/7 (ඕවර 20) ශිකරි ද සිල්වා 25, නිකේශා විජේසේකර 19 (විදූශිකා පෙරේරා 24/3, හරිනි පෙරේරා 12/2)

දඹුල්ල පිල – 99/6 (ඕවර 18.2) විමෝක්ෂා බාලසූරිය 27, ලිමි තිලකරත්න නොදැවී 21, විදුශිකා පෙරේරා නොදැවී 14 (හෂිනි ලියනගේ 20/3, තරුෂි තත්සරණි 20/2)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT