Saturday, May 10, 2025
Home » බන්දේසියක තබා ආවරණය කළ ව්‍යංජන සමඟ රෝහල් කෑම වේල රෝගියා අතටම

බන්දේසියක තබා ආවරණය කළ ව්‍යංජන සමඟ රෝහල් කෑම වේල රෝගියා අතටම

- ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

by sachintha
May 28, 2024 1:03 am 0 comment

නියමු ව්‍යාපෘතිය ජුලි මස මහරගම අපේක්ෂා රෝහලේදී

තරු 5 හෝටල්වලින් රෝහල් කෝකීන්ට ඉවුම් පුහුණුව

කෑම ගෙන යන සේවකයන්ට විශේෂ ඇඳුමක්

රෝගියකු වෙනුවෙන් වැය කරන ප්‍රතිපාදන වැඩි කරයි

ආධාර කළ හැකි දානපතියන් ඇත්නම් විස්තර එවන්න

රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබාදෙන ආහාර වේල නවීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කරයි.

නේවාසික රෝගීන්ට ලබාදෙන ආහාර වේල බන්දේසියක බහා එහි බත් සහ ව්‍යංජනයන් වෙන වෙනම අසුරා විනිවිද පෙනෙන දවටනයකින් ආවරණය කර රෝගියාගේ අතටම ගෙන දීම මෙම නවීකරණ වැඩපිළිවෙළින් සිදු කරන බව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පෝෂණ විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත් මහතා ‘දිනමිණ’ට ඊයේ (27) පැවසීය. මෙම වැඩපිළිවෙළෙහි නියමු ව්‍යාපෘතිය ජූලි මාසයේදී මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කිරීමටත්, ඉන්පසුව රට පුරා සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව ඔහු පැවසුවේය.

තරුපහේ හෝටල්වල සූපවේදීන් මඟින් රෝහල් මුලුතැන්ගෙයි ආහාර පිළියෙළ කරන අරක්කැමිවරුන්ට විශේෂ පුහුණුවක් හා ඔවුන්ට විශේෂ ඇඳුම් කට්ටලයක් ලබාදී මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසුවේය.

පිළියෙළ කළ ආහාර රෝගීන්ගේ අසලටම ගෙන ගොස් ලබාදීම සඳහා විශේෂ ඇඳුම් කට්ටලයකින් සැරසුණු පුද්ගලයන් යොදවන බවත් ඔවුන් වෙත රෝගියාව නොගෙන්වා රෝගියා වෙතට ගොස් ආහාරය ලබාදීම මෙමඟින් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් රෝගියෙකු වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදනයන් වැඩි කරදීමට කැමැත්ත පළ කර ඇති බවත් ඉතිරි මුදල දානපතියන්ගෙන් සපයා ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය.

මෙම වැඩපිළිවෙළට ආධාර කිරීමට කැමැති දානපතියන් සිටින්නේ නම් රජයේ රෝහල්වල පෝෂණවේදී වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් මුණ ගැසී වැඩි විස්තර ලබා ගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT