උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වීමට වවුනියාවේ මෝජෝ උත්සව ශාලාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනකු විසින් දමිළ චාරිත්‍රානූකූලව පිළිගනු ලැබූ අයුරු. උරුමය ඉඩම් ඔප්පු ලබාදීම කෘෂි නවීකරණ වැඩසටහන ගමටගෙන යාමේ ආරම්භක පියවර යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වවුනියාවේදී ප්‍රකාශ කළේය.
වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක් ආවරණය වන පරිදි උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු 700ක් ලබාදීමේ උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා පෙරේදා (26) මේ බව පැවසුවේය.
වවුනියාව මෝජෝ උත්සව ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ මෙම ඔප්පු ප්‍රදානය සිදු කෙරිණි.
කෘෂි නවීකරණ වැඩසටහන යටතේ ඉදිරි වසර තුන තුළ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙනයාමට කටයුතු කරන බවත්, නවීන තාක්ෂණය භාවිතයෙන් තම නිෂ්පාදන වැඩි කර ගනිමින් ආදායම් ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම යනු රජය සතු දේපල පුද්ගලීකරණය කිරීමක් බවත් එය රටේ ආර්ථිකය නංවාලීම සඳහා ඍජුව දායක කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.