පුද්ගලයන් 55406ක් පීඩාවට
තද සුළඟින් ගස් කඩා වැටී මරණ 7ක්
නිරිත දිග මෝසම් වැසි සැප්තැම්බර් තෙක්ම
කොළඹ අධි අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් පාසල් ළමයින්ගේ ආරක්‍ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.
පසුගිය දින කීහිපයේ ඇතිවූ වර්ෂාව හා තද සුළං නිසා දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 212ක පුද්ගලයන් 55406ක් පීඩාවට ලක් වී ඇති අතර, තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම නිසා මරණ හතක් සිදු වී ඇති බවත්, නිරිත දිග මෝසම් වර්ෂාව සැප්තැම්බර් මාසය වන තෙක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති බවත් ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ආපදාවට ලක්වූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,රාජ්‍ය දෙපාර්තමේන්තු,දිසාපති කාර්යාල,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,ග්‍රාම නිලධාරීන්,සංවර්ධන නිලධාරී, සහන සේවා මධ්‍යස්ථාන නිලධාරීන් හා විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව,පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බළකාය සැමවිටම සුදානමින් සිටින බව ද සඳහන් කළේය. ජනාධිපතිගේ උපදෙස් පරිදි කොළඹ අධි අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක රාජ්‍ය ආමාත්‍යවරයා හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.
ඒ අනුව,ත්‍රිවිධ හමුදාව,සිවිල් ආරක්‍ෂක බළකාය හා කොළඹ නගර සභාව සමඟ එක්ව අවදානම් ගස් ඉවත් කිරීමටත්,ගස්වල ඇති අවදානම් අතු ඉවත් කිරීම කටයුතු කිරීමටත්,ඉවත් කිරීමට යෝජිත ගස් වෙනුවට ආදේශක ලෙස නගරයට ගැළපෙන හා මාර්ගවලට මෙන්ම ජනතාවට අවහිරයක් නොවන ගස් සිටුවීම සඳහා තෝරාගැනීමට උපදෙස් ලබා දුන් බවත්,විහාරමහා දේවි උද්‍යානයේ ඇදවැටී ඇති ගස්වල මුල් පිළිබඳ විද්‍යාත්මක පරීක්‍ෂණ කිරීමට ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට අවශ්‍ය උපකරණ ලබාදීමටත් කටයුතු සුදානම් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.
කෑගල්ල පහළ කඩුගන්නාව ප්‍රදේශයේ හඳුනාගෙන ඇති ගල් පෙරළීමේ අවදානම් ස්ථාන කීහිපයක් හඳුනාගෙන ඇති බවත්,ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධීක්‍ෂණය යටතේ අවශ්‍ය කණ්ඩායම් යොදවා ජනතාවට අවම අපහසුතාවක් ඇතිවන ආකාරයෙන් එම ස්ථානවල ගල් ඉවත් කිරීමට කටයුතු කිරීමටත් කටයුතු කරන බවත් ඔහු පැවසීය.
පාසල් ළමයින්ගේ ආරක්‍ෂාවට ක්‍රියාත්මක කිරීමට නියමිත “සුරකිමු” විශේෂ ජාතික වැඩසටහන පිළිබඳ අද (28)අධ්‍යාපන අමාත්‍යංශය,පළාත් පාලන ආයතන,දිසාපති කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීමට කටයුතු සිදුකරනු ලබන බවද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදෙන නිවැරදි තොරතුරු පමණක් ජනතාව වෙත දෙන මෙන් මෙහිදී මාධ්‍ය වෙත විශේෂ ඉල්ලීමක්ද ඇමැතිවරයා විසින් සිදු කරනු ලැබීය.
රක්ෂණ ශ්‍රියන්ත