ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘උරුමය’ වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු ලබාදීමේ උත්සවයට සහභාගී වීම සඳහා පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය වෙත පෙරේදා (26) පැමිණි අවස්ථාවේ එම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මේ පිළිබඳ සොයා බැලීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය මෙම කාන්තාවන් දෙදෙනා සිටි ස්ථානය වෙත ගොස් ඔවුන්ගේ ගැටලුව කුමක් දැයි විමසා සිටි අතර, එහිදී ඔවුන්ගේ ගැටලුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන් කර තිබේ. ඉන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය මේ බව දැනුම්දීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විරෝධතාව පැවති ස්ථානයට ගොස් ඔවුන්ගේ ගැටලුවට සවන් දීමට කටයුතු කෙළේය.
මෙහිදී එම කාන්තාවන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙන්නේ තමන් ඇතුළු කේප්පාපිලවු ග්‍රාමයේ පදිංචි පවුල් 56ක් ඉඩම් ගැටලුවක් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බැවින් එය කඩිනමින් විසඳීමට කටයුතු කර දෙන ලෙසයි.
මීට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ ගැටලුව පිළිබඳ සොයා බලා කඩිනමින් විසඳීමට වගකිවයුතු අංශ දැනුවත් කරන බවයි. එසේම උතුරු පළාත තුළ රජය සතුව පවතින ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත්, තවදුරටත් විසඳීමට තිබෙන ඉඩම් ගැටලු කඩිනමින් විසඳීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා එහිදී සඳහන් තැර ඇත.
ගැටලුවට සවන් දී විසඳුම් ලබාදීම සඳහා තමන් වෙත පැමිණීම පිළිබඳ විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ජනාධිපතිවරයා වෙත සිය සතුට පළ කර සිටියහ.