මවුපියන් වෙන්වීම නිසා අවුරුදු 9ක දැරියකගේ රැකවරණය මවගේ සහෝදරියකට පවරා තිබිය දී සහෝදරියගේ සැමියා වන දෙදරු පියකු අවස්ථා කිහිපයකදී එම දැරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඇති බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා බරපතළ වැඩ සහිතව වසර 10ක සිරදඬුවමක් ඊයේ (29) ඔහුට නියම කළේය.
වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස දැනුම් දෙමින් එය නොගෙවන්නේ නම් මාස 6ක ලිහිල් සිරදඬුවමක් ද විනිසුරුවරයා නියම කළේය.
මෙයට අමතරව රුපියල් 50,000ක දඩ මුදලක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් මාස 6ක ලිහිල් සිරදඬුවමක් නියම කෙළේය.
මවුපියන් වෙන්වන අවස්ථාවේදී දැරිය මවගේ භාරයට පත්ව ඇත. ජීවත්වීමට ක්‍රමයක් නොතිබුණු බැවින් දියණිය පිළියන්දල ප්‍රදේශයේ ජීවත් වූ සොහොයුරියගේ නිවෙසේ රඳවා තබා ගෘහ සේවිකා රැකියාවක් සඳහා මව විදේශගතව ඇත. මවගේ සොහොයුරියට පාසල් යන දරුවන් දෙදෙනකු සිට ඇත. ඇය සිය දරුවන් රාත්‍රී 6-9 අතර කාලයේ පැවැති අමතර පන්ති සඳහා රැගෙන ගොස් තිබේ.
එම කාලය තුළ දැරිය ඇගේ සැමියා භාරයේ රඳවා ඇත. විත්තිකරු අවස්ථා කිහිපයකදී දැරිය බරපතළ ලෙස අපයෝජනය කර තිබේ.
පියා, දැරිය බැලීමට පැමිණි අවස්ථාවක එම නිවෙසේ ජීවත්වීමට අපහසු බව දැරිය දන්වා ඇත. එවිට පියා දැරිය තම පාර්ශ්වයේ ඥාති නිවෙසක රඳවා ඇත. පුංචි අම්මා නිවෙසේ නැති අවස්ථාවල බාප්පා කිහිපවරක් තමන්ට අතවර කළ බව දැරිය එහිදී හෙළිකර ඇත.
මේ ගැන ඔවුන් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇති අතර ඔවුන් විමර්ශනයක් පවත්වා තිබේ. නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වැනි වගන්තිය යටතේ 2014 වසරේ ජනවාරි 01 වැනි දා සහ ජූලි 19 වැනි දා අතර කාලය තුළදී බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනය කිරීමේ චෝදනාව ඇතුළු අධිචෝදනා 3ක් යටතේ නඩු පවරන ලදි.
නඩු විභාගයේදී චූදිත තැනැත්තා සහ තවත් සාක්ෂිකරුවකු හරස් ප්‍රශ්නවලට ලක්වෙමින් සාක්ෂි දෙන ලදි. එහිදී විත්තිකරු තමන්ට එරෙහිව නඟා ඇති චෝදනා ප්‍රතික්ෂේප කළේය. විත්තිය වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වූ අනෙක් තැනැත්තා වන චූදිතගේ දරුවාගේ සාක්ෂියෙන් වින්දිත දැරිය එම නිවෙසේ ජීවත් වූ බව සනාථ වන බව අධිකරණය නිගමනය කළේය.
පැමිණිල්ල වින්දිත දැරිය හා අධිකරණ වෛද්‍යවරයා සාක්ෂි සඳහා කැඳවන ලදී. බාල වයස්කාර දැරිය ලිංගික අපහරණයකට ලක්ව ඇති බවට අධිකරණ වෛද්‍යවරයා විශේෂඥ මතයක් පළ කරන ලදි. දැරියගේ පියා සංචාරක මඟපෙන්වන්නකු ලෙස කටයුතු කර ඇති නිසා ඔහු ලිංගික සේවා සඳහා දැරිය යොමුකර ඇති බවට විත්තිය ඉදිරිපත් කළ කරුණ වෙනත් සාක්ෂි මඟින් සනාථ කිරීමට අසමත් වූ බැවින් එම තර්කය අධිකරණය ප්‍රතික්ෂේප කළේය.