Home » දිවංගත රෙජී රණතුංග මහතාගේ 16වැනි ගුණ සැමරුම අදයි

දිවංගත රෙජී රණතුංග මහතාගේ 16වැනි ගුණ සැමරුම අදයි

by chanaka
May 30, 2024 10:06 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 16 වන ගුණ සැමරුම අද (30) ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උඩුගම්පොළදී පැවැත්විණි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ඥාතීන් ඇතුළු පිරිස උඩුගම්පල පිහිටි රෙජි රණතුංග මහතාගේ ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්විය.

1937 අප්‍රේල් මස 22 වන දින උඩුගම්පලදී උපත ලැබූ රෙජී රණතුංග මහතා මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයෙන්ද, මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන්ද, කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයෙන්ද අධ්‍යාපනය හදාලේය. ඔහු රුමේනියානු ජනරජ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධිධාරියෙකි.

1962 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත් රෙජී රණතුංග මහතා මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1989 වර්ෂයේදීය. 1994 මැතිවරණයෙන් පසු ප්‍රවාහන, පාරිසරික, වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ රෙජී රණතුංග මහතා වරාය සංවර්ධන, පුනරුත්තාපන හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සිවිල් ගුවන් සේවා, ආහාර හා අලෙවි සංවර්ධන කැබිනට් අමාත්‍යධූරයන්හිත් කටයුතු කර තිබේ. ජාතික වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙසද රණතුංග මහතා කටයුතු කර ඇත.

නන්දනී රණතුංග මහත්මිය සමග විවාහවූ රෙජී රණතුංග මහතා දරුවන් සය දෙනෙකුගේ පියෙකි. ඔහු වත්මන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක මෙන්ම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ හිටපු අමාත්‍යවරයකු මෙන්ම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ ආදරනීය පියාණන් වේ.

මෙම ගුණ සමරු උත්සවයට දේශපාලන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT