Saturday, May 10, 2025
Home » ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවියෙන් සමුගනී

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවියෙන් සමුගනී

by mahesh
May 31, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

මියුරු ගී තනු සිය ගණනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී ඊයේ (30) උදෑසන අභාවප්‍රාප්ත විය.

1931 වසරේ අප්‍රේල් 29 වැනි දින කොටහේනේදී උපත ලද ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වන විට 94 වැනි වියේ පසුවිය.

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1952දී වේදිකාගත කළ ‘හීන කුලය’ නම් නාට්‍යය හරහාය. ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්න විසිනි.

‘හුණුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ දස්කම් මනාවට පෙන්වූ උදාහරණ කිහිපයකි.

සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන්නේ “My dreams are roses for my love” ගීතයයි (‘රෝමියෝ ජුලියට්’ චිත්‍රපටයේ). මෙහි පද රචනය මර්සලින් ජයකොඩි පියතුමා විසින් සිදුකරනු ලැබූ අතර සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසිනි.

එමෙන්ම සිංහල චිත්‍රපටයක එන දිගම තේමා ගීතයේ නිර්මාපකයා ද වන්නේ මොහුයි. ඒ ‘රෝමියෝ ජුලියට් කතාවක්’ චිත්‍රපටයේ තේමා ගීතය වූ ‘හාරසිය වසරකට පෙර හිරු නොබසින රට යැයි නම් ලත්’ ගීතයයි.

මාලිනී බුලත්සිංහල ගායනා කළ “සඳ මඬලේ සිට”, සුජාතා හා මිල්ටන් පෙරේරා ගායනා කළ “සුපුන් සඳක් නැඟීලා”, හරූන් ලන්ත්‍රා හා සුජාතා ගායනා කළ “හංසරාණි”, රංජනී පෙරේරා ගායනා කළ “සීතල පාළුව” හා සුජාතා ගායනා කළ “රන්තරු පුන්සඳ,” විජේරත්න වරකාගොඩ ගැයූ “හිරු පායනවා”, මොරිස් දහනායක ගැයූ “ඔන්න ඕලු මලක්”, ශ්‍රීමති තිලකරත්න ගැයූ “කිරි කැටි පුතුනේ” අමරදේව හා චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ “කැන්දන් එන්නේ කවද ද මා,” ගුණදාස කපුගේ ගැයූ “නාඹර ගොයමට” ගීත ෂෙල්ටන්ගේ මිහිරි නිර්මාණ අතරින් අතළොස්සකි.

එමෙන්ම අතිශය ජනප්‍රිය “සමුද්‍රදේවි” නාට්‍යයේ “ගෝවේ ගෑනු පර­ාදයි සහ “යුද්දෙට මම ගියා ගෑනි ගෙදර තියා“ ගීතය ද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ නිර්මාණයන් අතර වෙයි.

අභාවප්‍රාප්ත සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT