කුවෙට් රටේ ගෘහ සේවයට ගොස් සිටියදී හාම්පුතාගෙන් අනේකවිධ හිරිහැරවලට ලක් වූ තිදරු මවක පිළිබඳ සෝබර පුවතක් අඟුරුවාතොටින් අපට වාර්තා විය. තම දරු පවුල පෝෂණය කිරීම සඳහා නොරට බැළ මෙහෙවරට ගොස් සිටියදී අමානුෂික වධ හිංසාවලට ලක් වී සිටිනුයේ අඟුරුවාතොට, උඩුවර පදිංචි ජාමුනි චතුරි ප්‍රියංකා නමැති 42 හැවිරිදි කාන්තාවයි. චතුරි පාසල් යන වයසේ පසු වන දියණියන් තිදෙනෙකුගේ මවකි.
කුවේට් රාජ්‍යයේ අබුපතිරා පොලිස් වසමේ පිහිටි නිවෙසක් වෙත මෙහෙවර පිණිස ගොස් මාසයකට පසුව ඇය සිය සැමියාට දුරකතන ඇමතුමක් දෙමින් පවසා ඇත්තේ ඒ නිවෙසේදී තමා හට මහත් හිරිහැර වන බවත් වැටුප් පවා නොදුන් බවත්ය. හිසට හැම විටම පහර දුන් බවත්, දෙඅත් තැළූ බවත්, කොණ්ඩය තැනින් තැන කැපූ බවත්, දත් කැඩූ බවත්, පාදවලට පහර දුන් බවත් ඇය කියා තිබේ.
මේ ගැන සැමියා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගොස් පැමිණිල්ලක්ද කර ඇත. ඒ පැමිණිල්ලත් සමඟ ඒජන්සිකර මේ පැමිණිල්ල ඉවත් කරගත හොත් ඇයට අවශ්‍ය පහසුකම් සහ පඩි මුදල දෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මාර්ගයෙන් දන්නවා ඇත. එය විශ්වාස කළ ඇයගේ සැමියාද පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන තිබේ.
ඔහු එසේ කළත් ඒජන්සිකරු ඇය මෙරටට ගෙන්වා දීමට හෝ වැටුප් ලබාදීමට හෝ මැදිහත් වී නැත.
කරදර ඉවසාගැනීමට නොහැකි තැන චතුරි මාස හයක පමණ කාලයක් සේවයේ නිරතව සිටි නිවෙසින් පසුගිය 29 දා රාත්‍රියේ පලා ගොස් තිබේ.
පැයක පමණ කාලයක් වීදියේ ඇවිදගෙන ගොස් ඇති ඇයට මුණගැසී ඇති ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඇයට ඒ ආසන්නයේ ඇති පොලිසියට යෑමට අවශ්‍ය උපදෙස් දී ඇත. ඒ අනුව අබුපතීරා පොලිසිය වෙත ගිය චතුරි සියලු විස්තර පොලිසියට පැවසීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණ දෙකකට යොමු කර තිබේ. පසුව ඇය කුවේටයේ තානාපති කාර්යාලය වෙත (30) වන දින යොමු කර ඇත.
කුවේට් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇය 31 දින කුවේට් රටට ගෙන්වූ ඒජන්සිය වෙත යොමු කර ඇත්තේ ලබා නොදී තිබූ හිඟ වැටුප් සහ පහර දීමෙන් සිදු වූ රෝගී තත්ත්වයන්ට අදාළ වන්දි මුදලක් ලබා ගැනීම සඳහා බව ඒ රට සිට නිවැසියන් සමග සම්බන්ධ වූ පුද්ගලයා පවසා ඇත.
මේ පිළිබඳව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් අඟුරුවාතොට පොලිසියට පසුගිය 31 දා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය මඟින් මෙරට ඒජන්සිකරුගේ ප්‍රාදේශීය නියෝජිතයා පෙරේදා (01) කැඳවා ප්‍රශ්න කර ඇත. මේ අහිංසක දරු පවුලේ දැන් එකම බලාපොරොත්තුව වී ඇත්තේ වැටුප් හා වන්දි මුදල් කෙසේ වෙතත් චතුරි හෝ වහා තමා වෙත ගෙන්නාගැනීමය.
ගල්පාත – චන්දන ජයලාල්