Home » මුල් පෙළේ කෙනකු ලෙස සජිත්ට දැනට තිබෙන පදනම ඉදිරි දින කිහිපයේදී අහෝසි වෙනවා

මුල් පෙළේ කෙනකු ලෙස සජිත්ට දැනට තිබෙන පදනම ඉදිරි දින කිහිපයේදී අහෝසි වෙනවා

- ජාජබ විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත

by sachintha
June 3, 2024 1:56 am 0 comment

ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර මුල් පෙළේ කෙනකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දැනට තිබෙන පදනම ඉදිරි දින කිහිපයේදී අහෝසිවී යන බැවින් ඊට පෙර විවාදයට පැමිණෙන ලෙස ඔහුට දන්වා සිටින්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ මහනුවර දිස්ත්‍රික් විශ්‍රාමික පොලිස් සාමූහිකයේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“සමගි ජන බලවේගය නොයෙක් කාරණා කියමින් විවාදය මඟ හැරීමට උත්සාහ කරන්නේ නම් තවත් දින කිහිපයක් බලා මේ විවාදය පැත්තකට දමනවා. විවාදයක් පවත්වනවා නම් ඒක කළ යුත්තේ ජනපති අපේක්ෂකයන් අතර බව සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන ළමයකුටත් තේරෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් ලෙස සජිත්ට තිබෙන පදනම තව ටික දවසකින් නැති වෙනවා. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලිමාවේ නායකයා අතර තමයි බොහෝ විට මේ සංවාදය පවත්වන්න වෙන්නේ. සජිත්ට විවාදයක් කරන්න ඕනෙ නම් ඉක්මනින් දැන්ම කරගන්න එක හොඳයි. මොකද එයා මුල් පෙළේ අපේක්ෂකයෙක් කියන පදනම නැති වෙනවා. ඊට පස්සේ ඇත්තටම එයා එක්ක විවාදයක් කර වැඩක් නෑ.

සජිත්ට මේක ඇද ඇද ඉන්න දෙයක් නෑ. ඇත්තටම මේක අපට වගේම රටටත් හරි කරදරයක්. ඒ නිසා ඔය සංවාදයට ඇවිත් මේක ඉවරයක් කරගන්න කියන එක තමයි අපි සජිත්ට සහ සමගි ජන බලවේගයට කියන්න තියෙන්නේ. ඔය සංවාදය කළා කියලා දැන් තිබෙන ජනමතය වෙනස් වෙන්නේ නෑ. විවාදයේදී මොනවා කතා කළත් ජනතාව ගෙන තිබෙන තීරණයකට එයින් කිසිම බලපෑමක් වෙන්නේ නෑ.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT