Home » පහරදීමකට ලක්වී දින 10ක් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර වික්ටෝරියා ජලාශයෙන් හමුවෙයි

පහරදීමකට ලක්වී දින 10ක් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර වික්ටෝරියා ජලාශයෙන් හමුවෙයි

by sachintha
June 3, 2024 2:00 am 0 comment

ගම්පොළ කහටපිටිය තොග වෙළෙඳසලක සේවය කළ විසි එක් හැවිරිදි තරුණයකුට එම වෙළඳසල් හිමිකරු ඇතුළු පිරිසක් වෙළෙඳසල තුළදී පහර දීමෙන් පසු දින දහයක් අතුරුදන්ව සිටි එම තරුණයාගේ සිරුර වික්ටෝරියා ජලාශයේ තිබී හමු වූ බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ, කහටපිටිය, බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසන් රාශික් නමැති තරුණයායි.

මොහු මෙම වෙළෙඳසල තුළ වසර හයකට වඩා කාලයක් සේවය කොට තිබෙන බව පැවැසේ.

මෙම තොග වෙළෙඳසලට අයත් ගබඩාවක් එම ප්‍රදේශයේම පවතින අතර මියගිය තරුණයා එම තොග වෙළෙඳසලෙන් යම් වංචාවක් සිදුකර ඇතැයි පවසා මෙම තරුණයාට පහරදී තිබූ බවත් පොලිසිය පවසයි.

මෙම පහරදීම සඳහා එම වෙළෙඳසල් හිමිකරු හා ඔහුගේ පුතා හා තවත් කිහිපදෙනෙකු එක්ව ඇති බව අනාවරණය කරගෙන තිබේ.

පහර දුන් දින සිට මෙම තරුණයා අතුරුදන්ව ඇති අතර ඊට පසු දින ඔහු නිවසට නොපැමිණි නිසා තරුණයාගේ මව ඒ පිළිබඳව සොයා ඇත.

එහිදී තම පුතාට වෙළෙඳසල තුළදී පහරදී ඇති බව දැනගත් මෙම මව ඒ පිළිබඳව හා තම පුතා අතුරුදන්ව ඇති බව 22 දින පොලිසියට පැමිණිලිකර තිබුණි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ අමීනා බිබී නමැති මව මෙසේ පැවැසුවාය.

පුතා අතුරුදන් කියලා මම පැමිණිල්ල කළත් පොලිසිය මට තව ටිකක් එයා ගැන හොයන්න කීවා. තුවාල තියෙනවා නම් ඉස්පිරිතාලවලත් බලන්න කිව්වා. මගේ අනෙක් පුතාලා දෙන්නයි නෑදෑයොයි එයා ගැන හෙව්වත් තොරතුරක් නැති නිසා මම නැවත විසි පස්වැනිදා පොලිසියට මේ ගැන පැමිණිල්ලක් දැම්මා.

31 වැනිදා වික්ටෝරියා ජලාශයේ මිනී දෙකක් තියෙනවා කියලා අපිට කිව්ව නිසා අපි ගිහින් බැලුවා. එතකොට එක්කෙනෙක් මගේ පුතා කියලා අපි දැනගත්තා.

ගම්පොළ ඉඳලා වික්ටෝරියා ජලාශයට කිලෝමීටර් 40කට වැඩිය දුරයි. පුතාට එහෙ යන්න කිසිම අවශ්‍යතාවක් තිබුණේ නෑ. අනෙක එයාට හොඳටම ගහලා ලේ ගලාගෙන හිටියා කියලා අපි දැනගත්තා. මේ ගැන අපි ඒ කඩෙන් අහනකොට ඒ අය කිව්වා එයා හොරකමක් කරලා තිබුණා ඒ ගැන අපි ප්‍රශ්න කරලා එයා පල්ලියට භාර දුන්නා කියලා. අපි පල්ලියට ගිහින් ඇහුවා පුතා භාර දුන්නද කියලා. නමුත් පල්ලියේ අය කිව්වේ එහෙම කෙනෙක් අපට භාර දුන්නේ නෑ කියලා.”

ස්ථානීය පරීක්ෂණ අංශය (සොකෝ) මෙම වෙළෙඳසල වෙත ගොස් දැඩි ලෙස එය පරික්ෂාවට ලක් කළ අතර මෙම තරුණයා තවත් ස්ථානයකට ත්‍රිරෝද රථයකින් දෙදෙනකු විසින් රැගෙන ගියබවට තිබූ තොරතුරකට එම ස්ථානය ද පරික්ෂාවට ලක් කරන ලදි.

මේ අතර ගම්පොළ අපරාධ අංශය මඟින් මෙම තරුණයාට පහර දුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහි වෙළෙඳසල් හිමිකරු හා ඔහුගේ පුතා සොයා පරීක්ෂණ අරඹා තිබේ.

මේ අතර මිය ගිය තරුණයාගේ ඥාතීන් චෝදනා කරන්නේ වෙළෙඳසල් හිමිකරු මේ වනවිට මක්කම ගොස් ඇති බවත් පුතා අත්අඩංගුවට ගෙන නැති බවත්ය.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහරෝහලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රන්ජන් අබේවංශ පොලිස් පරීක්ෂක ජයන්ත ඇතුළු කණ්ඩායමක් ද ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර, පොලිස් සැරයන්වරු වන (20191) හේරත් (71950), කපිල පොලිස් කොස්තාපල්වරු වන (77177) අනුරුද්ධ, (103238) ලක්ෂාන් යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT