Saturday, May 10, 2025
Home » පැරෂුට් තැටි ගොවි ජනතාවට සහනාධාරයක් යටතේ

පැරෂුට් තැටි ගොවි ජනතාවට සහනාධාරයක් යටතේ

by chanaka
June 4, 2024 3:45 pm 0 comment

2024 මහ කන්නයේ දී ගොවීන් 4000කට රුපියල් ලක්ෂ 40ක් වටිනා පැරෂුට් තැටි සියයට 25ක සහනාධාර පදනම යටතේ ලබා දීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපතිතුමන් විසින් අනුමැතිය ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

ගොවි ජනතාවට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ යටතේ ගොයම් පැළ සිටුවීම සඳහා මෙම පැරෂුට් තැටි භාවිතා කිරීම හඳුන්වා දී ඇත.

වී වගාව සඳහා පැරෂුට් තැටි භාවිතය මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන අතරම වල්පැළ මර්දනය සඳහා මුදල් වැය කිරීමට සිදු නොවීම මෙන්ම අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කළ හැකි වීම නිසා අනිසි ලෙස වගාව සඳහා මුදල් වැයවීම අවම කර ගැනීමට ගොවි ජනතාවට හැකි බව කෘෂිකර්ම අංශ පෙන්වා දෙයි.

මේ නිසා ඉදිරි මහ කන්නයේ දී ගොවීන් 4000කට අක්කර 1000ක් සඳහා සියයට 25 සහන පදනම යටතේ පැරෂුට් තැටි ලබා දීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

සාමාන්‍යයෙන් අක්කරයක වී වගා කිරීම සඳහා පැරෂුට් තැටි 400ක් අවශ්‍ය වේ. ඉන් සියයකට යන වියදම ගොවියා විසින් දැරිය යුතු අතර 300ක් සඳහා රජය විසින් අනුග්‍රහය දක්වයි. ඒ අනුව එම පැරෂුට් තැටි 300 නොමිලයේ ලබා දීමට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

හෙක්ටයාර් එකකට පැරෂුට් තැටි 1000ක් අවශ්‍ය අතර පැරෂුට් තැටි 750ක් රජය විසින් නොමිලයේ ගොවීන්ට ලබා දෙයි. පැරෂුට් තැටි 250කට යන වියදම ගොවියා විසින් දැරිය යුතුවේ. සාමාන්‍යයෙන් මෙම පැරෂුට් තැටි වගා කන්න හයක් පමණ භාවිතා කිරීමට හැකි බවද කෘෂි අංශ අවධාරණය කර සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT