දරුවන් පොත පතට පමණක් සීමා නොකර බාහිර ක්‍රියාකාරකම් සඳහා ද යොමු කළ යුතු බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
2023 වසරේ දී වසරේ ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය දිනාගත් බාලදක්ෂ බාලක බාලිකාවන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උලෙළට ගාල්ල නගර ශාලාවේ දී පෙරේදා (02) එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.
දරුවන් එලෙස යොමු කළයුතු සුදුසුම බාහිර ක්‍රියාකාරකමක් ලෙස බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දිය හැකි බව හෙතෙම කීවේය. බාලදක්ෂයන් තුළ ජාති, ආගම්, කුල භේද නොමැති බවත් එවැනි ව්‍යාපාරයකට සියලුදෙනාටම එක්විය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.
මෙහිදි බාලදක්ෂ බාලක බාලිකාවන් 225 දෙනකු සහතික පත් ලබාගත් අතර මීට සමඟාමීව බාලදක්ෂ ව්‍යපාරය ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ඉංජිනේරු එෆ්.ජී. ස්ටීවන් මහතාගේ ගුණ සැමරුම ද පැවැත්විණි.
එහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
පොතට පතට සීමා වුණු, විභාගවලට හුරු වුණු, තමන්ගේ අරමුණු විභාග පමණක් කරගත්, එසේ විය යුතු යැයි මව්පියන්ද සිතා ඉන්න යුගයක් තමයි තිබෙන්නේ. එසේ බලද්දි බාලදක්ෂ ව්‍යාපාරයට එක් වූ දරුවන් ඊට එහා ගිය සමාජ පණිවිඩයක් දී තිබෙනවා. පොත පතට පමණක් සීමා වී ඉන්න දරුවන් තුළ ගුණධර්ම ගැන ගැටලුවක් තිබෙනවා. අභියෝග භාර ගැනීම ගැටලුවක්. ඔවුන්ට යමක් දරා ගැනීමට ශක්තියක් නැහැ. එම නිසා දරුවන් අනිවාර්යෙන්ම බාහිර ක්‍රියාකාරකම් සඳහා යොමුකළ යුතුයි. ඉන් ඔවුන්ට කණ්ඩායම් හැඟිම, දරා ගැනීමේ හැකියාව, යමක් සිතාමතා කිරීමේ හැකියාව ලැබෙනවා. එම නිසා දරුවන්ගෙන් මෙන්ම මව්පියන්ගෙනුත් ඉල්ලනවා දරුවා බාලදක්ෂ ව්‍යාපාරයට යොමු කරන්න කියලා.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ජේ.පී.ඒ. ජයවර්ධන, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මූහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, සහාය ප්‍රධාන කොමසාරිස් වෛද්‍ය මංජුල සහබන්දු, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ භාණ්ඩාගාරික දිනේෂ් මානවඩු, ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස් උපුල් කලන්සූරිය මහත්වරුන්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස්වරුන්, බාලදක්ෂ කොමසාරිස්වරුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
නුවන් කොඩිකාර