Home » ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කඩ කළොත් රට නැවත ආපස්සට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කඩ කළොත් රට නැවත ආපස්සට

- කරවනැල්ල ‘උරුමය’ ඔප්පු පිරිනැමීමේ වැඩසටහනේදී ජනපති කියයි

by sachintha
June 5, 2024 1:01 am 0 comment

මේ එකඟතා නීතිගත කළ ආර්ථික පරිවර්තන කෙටුම්පතට සහාය දෙන්න

දේශපාලනය ඉවතලා මේ මාර්ගය ඔස්සේම ගමන් කරමුයැයි විපක්ෂයෙන් ඉල්ලනවා

-කරවනැල්ල ‘උරුමය’ ඔප්පු පිරිනැමීමේ වැඩසටහනේදී ජනපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා කඩ කළ හොත් රට නැවත ආපස්සට යන බවත්, එබැවින් ඒ සියලු එකඟතා නීතිගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය දීම සියලු දෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේදී ඊයේ (4) පැවති ‘උරුමය’ සින්නක්කර ඔප්පු පිරිනැමීමේ හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

‘උරුමය’ සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව කෑගල්ල දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 350ක් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. අඩු ආදායම්ලාභි පවුල් සඳහා සහල් කිලෝ 20ක් බෙදා දීමේ වැඩසටහනේ දෙවැනි අදියර ලෙස සහල් කිලෝ 10 බැගින් පවුල් 800ක් සඳහා පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් ඊයේ (4) සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“මේ උරුමය සින්නක්කර ඔප්පු හිමි වීම ඔබේ අයිතිය පිරිනැමීමක් ලෙස මා සලකනවා. ජනතාවට මේ අයිතිය දීමට මෙතෙක් පැවති සියලු ආණ්ඩු අපොහොසත් වුණා. ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක වූණේ නෑ. එහෙත් අපි ආණඩුවක් ලෙස ඒ කටයුත්ත සිදු කර තිබෙන අතර, සුදු ජාතිකයන් මෙරට ජනතාවගේ ඉඩම් අත්පත් කරගත් නීතියෙන්ම රටේ ජනතාවට යළි ඒ ඉඩම් අයිතිය දී තිබෙනවා. දැන් ඒ ඉඩම ආරක්ෂා කරගැනීම ඔබේ වගකීමක්.

“මේ ආණ්ඩුව සාමාන්‍ය ආණඩුවක් නොවෙයි. සෑම පක්ෂයකම නියෝජිතයන් මේ ආණඩුවේ සිටිනවා. ඒ වගේම සෑම පක්ෂයකම කණ්ඩායම් විපක්ෂයේද සිටිනවා. ඒ නිසා ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් සර්වපාක්ෂිකයි. ඒත් ආණ්ඩුවක් ලෙස අද අප විශාල වගකීමක් භාර ගෙන තිබෙනවා. විපක්ෂය කියන්නේ ඒ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළ කණ්ඩායමයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ තිබෙන වෙනස එයයි.

“එදා රටේ තිබූ තත්ත්වය මා අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැහැ. ඒත් අද අප මේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අපට වසර හතරක් පහක් ගත වනු ඇතැයි බොහෝ දෙනෙක් සිතුවා. ඒත් වසර දෙකකින් අපට ගොඩ ඒමට හැකි වූ අතර, එහිදී අසීරු තීන්දු තීරණ ගැනීමටද සිදු වුණා. අද රටේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට පැමිණ තිබෙනවා. දැන් අප රටේ බහුමාන දිළිඳුකම අඩු කරගැනීම වෙනුවෙන් අවධානය යොමු කර තිබෙන අතර ඒ වෙනුවෙන් කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මේ රටේ 80%ක් පවතින්නේ ග්‍රාමීය ආර්ථිකයයි. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්නේ නැතිව දුප්පත්කම නැති කරන්න බැහැ. ඒ වගේම රටේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් වන ඉලක්ක පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟතා ඇති කරගෙන තිබෙනවා. 2027 වන විට මෙරට ආර්ථිකය 5% දක්වා වර්ධනය කරගැනීමට තිබෙනවා. එය ඉදිරියේදී 8% දක්වා වර්ධනය කරගත යුතුයි. විරැකියාව 2025 වන විට 5% දක්වා අඩු කරගත යුතුයි. ඒ වගේම බහුමාන්‍ය දිළිඳකම 2027 වන විට 25% -15%දක්වා අඩු කරගැනීමේත්, 2035 වන විට එය 10%ට අඩු කරගැනීමේත් ඉලක්ක අපට තිබෙනවා. අප මේ කටයුතු කරන බව ප්‍රකාශ කළ නිසා රටේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සම්පූර්ණ සහය දී තිබෙනවා; ඒ වගේම අප ගත් විදේශ ණය ආපසු ගෙවීම ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වැඩපිළිවෙළ කඩ කළ හොත් අප නැවත රටක් ලෙස පසුපසට යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපට අහිමි වනවා. මොකද: ලංකාව අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත මේ පොරොන්දු දී ඒවා කඩ කළා.

ඒ නිසා මේ සියලු එකඟතා ඇතුළත් කර ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ කෙටුම්පතින් අපේ ආර්ථික ඉලක්ක සහ එකඟතා නීතිගත කර තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යන බවට, අපට ණය දුන් රටවල් සෑහීමට පත්ව සිටින නිසා ඔවුන්ගේ සහය අපට හිමි වනවා. ඒ නිසා අපට මෙය වෙනස් කරන්න බැහැ. දැන් මේ සාකච්ඡා අවසන් අදියරේ පවතිනවා. ඒ නිසා දේශපාලන වේදිකාවේ ඕපාදූප කතා කර වැඩක් නැහැ. තමන් කරන කියන දෙයක් මෙම රාමුව තුළ කළ යුතුයි. ඒ නිසා මා විපක්ෂයට කියනවා: ඔබ විපක්ෂයට ගියේ වගකීම් භාර ගැනීමට නොහැකි වූ නිසයි; සාම්ප්‍රදායික දේශපාලනය කළ නිසයි. අද අප ආණ්ඩුවේ සිටින්නේ බිය නැතිව අභියෝග භාර ගෙන කටුයතු කළ නිසයි. දැන් අප ප්‍රතිඵල පෙන්වා තිබෙන නිසා අපි සියලු දෙනා එක්ව එක මාර්ගයක ගමන් කරමු කියා මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතා:

“ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය දීමේ මෙම වැඩපිළිවෙළ ජනාධිපතිතුමා අග්‍රමාත්‍යවරයා ලෙස සිටි සමයේ සිටම ආරම්භ කළ වැඩපිළිවෙළක් බව කිව යුතුයි. ඒත් එම කාලවකවානුවේදී විවිධ බාධා පැමිණියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගමන් මඟ දෙස බැලූ විට එතුමා දැරූ සියලු අමාත්‍ය ධුරවලදි ජනතාවට විශාල සේවයක් කර තිබෙනවා. අධ්‍යාපන ඇමැතිවරයා ලෙසත්, තරුණ කටයුතු ඇමැතිවරයා ලෙසත් මේ රටේ දරුවන්ට මෙන්ම තරුණයන් වෙනුවෙන් එතුමා ඉටු කර තිබෙන සේවය ප්‍රසංශනීයයි. එතුමා අද ජනාධිපතිවරයා ලෙස ඔබට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මාගේ පියා ගාමිණි දිසානායකයන්ගේ කාලයේ දී තිබූ ඉඩම් බලපත්‍රද මේ උරුමය වැඩසටහන මඟින් සින්නක්කර ඔප්පු බවට පත් කළ හැකියි. සිංගප්පූරුව වැනි රටවල මෙවැනි සින්නක්කර ඔප්පු දීමෙන් ජනතාව විශාල දියුණුවක් ලබා තිබෙනවා. ඒ වගේම අද ඔබට ලබා දෙන මෙම ඔප්පු මගින් රටේ ආර්ථිකයටත් ඔබගේ ආර්ථිකයටත් විශාල ධනාත්මක වාසියක් සිදු වනවා.”

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්.එස්. සමරතුංග මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT