අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා පෙරේදා (03) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ජනාධිපතිවරයා පෙරේදා (03) පෙරවරුවේ කොළඹ කොළොන්නාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ගංවතුරින් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා සිදු කළ නිරීක්ෂණ චාරිකාවේ දී ප්‍රදේශවාසීන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබිණි.
කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිගු කාලයක් පුරා පවතින ගංවතුර ගැටලුවට පිළියම් යෙදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව කොළඹ, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කැලණි ගං මිටියාවතේ සිදු කෙරෙන නව ඉදිකිරීම් සඳහා අවසර ලබා නොදීම, සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, දැනට සිදුකෙරෙන ඉඩම් ගොඩකිරීමේ කටයුතු නැවැත්වීම, ජලාපවහන පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ඕනෑම ක්ෂණික අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීමට හැකිවන සේ පවතින ජල පොම්පාගාරවල වත්මන් තත්ත්වය තක්සේරු කිරීම ඇතුළු කඩිනම් පියවර ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩලය විසින් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලධාරීන්ට නියෝග කර තිබේ. එමෙන්ම, කොළඹ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ මූල හේතුන් හඳුනාගනිමින් ඉදිරියේ දී එවැනි තත්ත්වයන් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට මෙන්ම, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොළොන්නාව නගරය නැවත සැලසුම් කිරීම පිණිස සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ඊට අදාළ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතනවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම කමිටුවේ වාර්තාව අදාළ නිර්දේශ ද සමඟ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට හැකි වන සේ මාසයක කාලයක් තුළ ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
නුවන් කොඩිකාර