Sunday, May 11, 2025
Home » වැස්ස වැටුණු විට සිහිය ද මුළාවේ

වැස්ස වැටුණු විට සිහිය ද මුළාවේ

by sachintha
June 5, 2024 1:00 am 0 comment

ලෝකයේ ප්‍රථම වතාවට රැම්සා තෙත් බිම් නගර දහ අටක් නම් කරන්නේ 2019 වසරේය. මේ නගර දහ අට අතරට කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර නාගරික තෙත්බිම් ද ප්‍රකාශයට පත්වන්නේය. තෙත් බිමක් ලෙස අග නගරයක් ලෝකයා නාමකරණය කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වන්නේ එලෙසය. ලෝකය නාගරීකරණය ගමන් කරන කල්හි මුලින්ම ‘නෙළන්නේ’ පරිසරයටය. මිනිසා ස්වාභාවිකවම පරිසරයට පෙම් බඳින්නේය. සල්ලි සහ අවස්ථාව උදා වූ කල්හි ඒ ප්‍රේමය අහවර වන්නේය. වාණිජ අගය සමඟ සසඳන විට හරිත වනය කපා හැර කොන්ක්‍රීට් වනය ඉදිකිරීම සඳහා හෙතෙම පෙරට එන්නේය. එහෙම තිබියදී අපේ අගනගරය ලෝකයේ පළමු රැම්සා අගනුවර බවට පත්ව තිබේ.

පහතරට තෙත් කලාපයේ අප අගනගරය පිහිටා ඇත්තේ බැවින් එය සකලාංගයෙන්ම සදාහරිත වන පියසකි. වරාය ආදිය ඉදිකරමින් අධිරාජ්‍යවාදී යුගයේදී සියල්ල කොළඹට කේන්ද්‍ර වී දැන් එය සහ අවට කලාපය රටේ මර්මස්ථානය බවට පත්ව තිබේ.

මේ වැස්ස අපට මතක් කර දෙන ලද්දේ අගනුවර සහ අවට කලාපය වනාහි අප විසින්ම වනසා ගත් පුරයක් බවට පත්ව ඇති බවය. අවිස්සාවේල්ල යනු කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවරය. එතැන් පටන් කොළඹ අනෙක් කෙළවර වූ මෝදර දක්වා කැලණි ගඟ වටේ දෙපැත්ත දැන් ‘වසන්නට බැරි’ තලාවකි. ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම වේදිකා නාට්‍යයේ සහ කුලසේන ෆොන්සේකාගේ ‘පාලම යට’ චරිත දැන් ඒ හරියේ නැත. ඒ වෙනුවට ඒ සියලු චරිත දෙමටගොඩ, වැල්ලම්පිටිය, සේදවත්ත, කැලණිමුල්ල ආදියේ සිට ගඟ දෙපැත්තේ ජීවත් වන්නාහ. පොඩි වැස්සක් ගිය ද ගෙවල් අකුළාගෙන මේ පිරිස් විසිර යා යුතුය. ඒ පළාත් හි ගඟ පැල්පත් නොව ‘ඇතුළට වෙන්නට’ හොඳට ගෙවල් දොරවල් හදාගෙන සිටින ජනයා මේ දවස්වල දිවි ගෙවන්නේ උඩ තට්ටුවේය. යට තට්ටුව ගංවතුර ‘බලෙන් බදුගෙනය’.

බියගම, මල්වාන, හංවැල්ල ආදී ප්‍රදේශ සඳහා ගංවතුර දෙපාරකට එන්නේය. පළමුව එන්නේ අවට වැටෙන වැස්සෙනි. ඊළඟට උඩහ වතුර පහළ බලා එන්නේ ‘මේ පැති යටකරගෙනය’. වැස්ස නතර වුවද ගංවතුර පහවීම සඳහා තවත් දින ගණනාවක් ගත වන්නේය. කළුතර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ අත්තනගලු ඔය අවට කලාපය ජා ඇල ආදී බෙල්ට් එක ද, මේ දවස්වල ඔය කට්ට කන්නේය. මේ ආකාරයේ ‘වහක්’ ගංවතුර නිසා කෑමට සිදුව ඇත්තේ මේ කාලයට පමණක් අපට මතක් වෙන වැසි වතුර සහ ගංවතුර යන දෙක බැස ගිය පසු අපේ මතකයෙන් ද බැස යන කාරණා කිහිපයක් නිසාය. එකක් පහත් බිම් ගොඩකිරීමය. අනික කානු සහ ඇළවේලි පද්ධතියේ ‘හොඳකමය’.

මේ රටේ අවසර ලත් ඉදිකිරීම් සිදු නොකළ යුතු ගාණට ‘අනවසර ඉදිකිරීම්’ ඇත්තේය. රේල් පාර අවට සිට ඉඩක් ඇති ඕනෑම තැනක අනවසර ඉදිකිරීම් කළ හැකිය. තෙකලා විදුලිය, නළ ජලය පමණක් නොව අවශ්‍ය නම් වරිපනම් අංකයක් ද ගත හැකිය. ඉන් පස්සේ එය ඉවත් කරනවා බොරුය. එවන් බ්ලොක් වීම මුහුදට ගලා බසින ජල ධාරාව නිකම්ම නොව අපට අපායක් ද මවා තබා නික්ම යන්නේය.

කොළඹ ප්‍රසිද්ධ වැසිකිළි තිබූ ස්ථාන පවා එක කාලයකදී සිය මිත්‍ර පාර්ශ්ව සඳහා මේ රටේ නායකයෝ බෙදා දුන්හ. මේ ආකාරයට අනවසර ඉදිකිරීම් සඳහා ලයිසන් ලැබුණු හෙයින් බස්නාහිර පළාතේ අනවසර ඉදිකිරීම් කොතරම් සංඛ්‍යාවක් වේදැයි ගණන් හිලව් ඇත්තේ නැත. රිළව් සේම මේ රටට වසංගතයක් වී ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ‘නීතිය බලාත්මක කරන’ ආයතන වැඩි සද්දයක් නැත. කාලයකට ‘ඩෙගා නටා’ නිහඬව ඉන්නේය. ඒ කාලයේ කොහොම හරි වැඩේ අල්ලාගෙන සිටියහොත් වැඩේ ස්ථිරය.

අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන අතර ලිපි හුවමාරුවට ගතවෙන කාලය ‘මේ කොන්ක්‍රීට්’සවිවීම සඳහා මඟ පාදන්නේය. අත්තිවාරම දමා වැඩේ කරගෙන යනවිට එහෙට මෙහෙට ලියුම් ගොස් වැඩේ අහවර කර අදාළ ගොඩනැඟිල්ල කඩා ඉවත් කිරීමට පැමිණෙන කල්හි ඒවායේ ව්‍යාපාර පටන්ගෙනය. නැතිනම් පවුල් පිටින් පදිංචි වී ඇත. එහෙම ගෙයක් හෝ ගොඩනැඟිල්ලක් කඩා දැමීම සඳහා නඩුකරයක් පැවරිය යුතුය. උදැල්ලෙන් කඩා ඉවත් කළ හැකි දේ බැකෝවට ද කඩන්න බැරි වන්නේ මේ නිසාය.

සුනාමිය ටිකක් ශුද්ධ කර දැමුව ද ශ්‍රී ලංකාවේ වෙරළබඩතැන්න වනාහි අනවසර ඉදිකිරීම් ‘සාගරයකි’. ශ්‍රී ලංකාව වටා වෙරළේ අනවසර ඉදිකිරීම් 1200කට වැඩි ප්‍රමාණයක් ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවම පවසන්නේය. නිවාස, තානායම්, හෝටල් සහ තාප්ප ලෙස ඇති මේ ඉදිකිරීම් දැන් ස්ථිරය. අනික් පැතිවල අනවසර ඉදිකිරීම් ගැන සංඛ්‍යා ලේඛන හෝ අප දන්නේ නැත. වැසි වතුර සහ ගංවතුර බැසගෙන යන මේ වෙලාවේ මේ තීරුව අවධාරණයට ලක් කරන්නේ එවැනි සංගණනයක් පළමුව ආරම්භ කරන ලෙසය. එවිට කළ යුතු අවස්ථාවක ‘බඩු ටික’ හඳුනාගත හැකිය.

කානු පද්ධතිය වැනි දේ ඉදිකිරීම සහ නඩත්තුව ඇත්තේ පළාත් පාලන ආයතන අතේය. එවැනි කානු සහ ජල බැසයෑමේ සැලසුමක් ග්‍රාම සේවා කොට්ඨාසයට එක බැගින් ඇති කර ජනයා දැනුම්වත් කළේ නම් ගම් මට්ටමින් ශ්‍රමදාන දමා හෝ මිනිස්සු ඒවා ඉදිකර, ශුද්ධ පවිත්‍ර කරගෙන සිටිනවා ඇත. මේ දෙකම දැනට නැති හෙයින්

කයිය මිසක සැලසුම් නැති කලාවේ

වැස්ස වැටුණු විට සිහිය ද මුලාවේ

අවසර නැතත් ඉදිකරනා තලාවේ

පමාවෙලා වැහැපන් වැහි වලාවේ

යැයි කියමින් අපට ඊළඟ අනෝරා වැස්ස තෙක් බලා සිටිය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT