Home » හයර් මුවාවෙන් ත්‍රිෙරා්ද කොල්ල කෑ තිදෙනෙක් කොටු වෙති

හයර් මුවාවෙන් ත්‍රිෙරා්ද කොල්ල කෑ තිදෙනෙක් කොටු වෙති

කට්ටි පැන්න ඝාතකයෙකුත් ඒ අතර

by sachintha
June 5, 2024 1:00 am 0 comment

කුලී ගමනක් යන මුවාවෙන් මහ මඟ ගමන් ගන්නා ත්‍රිරෝද රථවලට නැඟ එහි රියැදුරුට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා රන් භාණ්ඩ, මුදල් හා ත්‍රිරෝද රථ කොල්ල කා පලායාමට පුරුදුව සිටි කල්ලියක මහා මොළකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

ඒ අතර මීට මාස අටකට පෙර කොල්ලකෑමකට ගිය අවස්ථාවේදී හිරණ ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පොලිසිය සොයමින් සිටි පුද්ගලයෙකුද සිටි බව පොලිසිය පවසයි.

බම්බලපිටිය පොලිස් වසමෙන් සොරාගත් ත්‍රිරෝද රථයක් රත්මලාන දුම්රිය නිල නිවාස අසල මාර්ගයේ නවතා ඇති බවට බුද්ධි නිලධාරී පො.සැ. (49857) නිලධාරියාට ලැබී තිබූ තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඉහත මනුෂ්‍ය ඝාතනයේ හා තවත් දේපළ කොල්ලකෑමේ සිද්ධීන් රැසක තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී බම්බලපිටිය, හිරණ, පාණදුර දකුණ හා ගල්කිස්ස යන පොලිස් වසම්වලදී ත්‍රිරෝද රථ, රන් භාණ්ඩ හා දේපළ කොල්ලකා ඇති බවට අනාවරණය වූ බවත් හිරණ පොලිස් වසමේදී කොල්ලකෑමක් සිදු කිරීමට ගොස් වෙළෙඳසල් හිමිකරුවෙකු බියගැන්වීමට පොල්ලකින් පහර දීමට උත්සාහ දැරීමේදී එම පොල්ල හිසට වැදී පුද්ගලයකු ඝාතනය වීමේ සිද්ධියක තොරතුරු ද අනාවරණය වූ බව පැවසේ.

ඒ අනුව සැකකරුවන් සොරා ගත් ත්‍රිරෝද රථ දෙකක්, ජංගම දුරකතන පහක්, ත්‍රිරෝද රථවලට යොදන රෝද 03ක්, තියුණු ආයුධයක්, රන් භාණ්ඩ උකස් කළ රිසිට් පත් කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට වසර හතකට පෙර රටපුරා ආන්දෝලනාත්මක සිද්ධියක් ලෙස ප්‍රචාරය වූ දුම්රියක ගමන්ගත් දමිළ යුවළකට කඩුවකින් පහර දී අත් පා කපා තුවාල සිදු කොට රන් භාණ්ඩ හා දේපළ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවට අනාවරණය වූ බව පැවසේ.

අත්අඩංගුවට ගත් 27 හැවිරිදි පාණදුර කිරිබේරිය පදිංචිකරුවෙක් සහ පාණදුර පින්වත්ත පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT