ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (SLADA) විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද විනයවත් පිරිසිදු ක්‍රීඩාවක් පවත්වා ගැනීම උදෙසා පැවැති සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද ක්‍රීඩා අධ්‍යාපනඥයන් 40කට සහතික පත්‍ර හා බලපත්‍ර ප්‍රදානය පසුගියදා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී ඒ – ශ්‍රේණියේ ක්‍රීඩා අධ්‍යාපනඥයන් ලෙස 10ක්, බී – ශ්‍රේණියේ ක්‍රීඩා අධ්‍යාපනඥයන් ලෙස 17ක් සහ සී – ශ්‍රේණියේ ක්‍රීඩා අධ්‍යාපනඥයන් ලෙස 13ක් ද සහතික පත් හා බලපත්‍ර ලබා ගත්හ.
තහනම් උත්තේජක භාවිතයෙන් මුළු ලෝකයේම ක්‍රීඩාව වෙළා ගත් අවදියක පිරිසිදු ක්‍රීඩාවේ පණිවිඩය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම තුළින් තහනම් උත්තේජක භාවිතයෙන් තොර පිරිසිදු ක්‍රීඩා පරිසරක් නිර්මාණය කිරීම මෙම පාඨමාලාවේ අභිලාෂයයි. බලපත්‍රලාභී අධ්‍යාපනඥයින් මඟින් තහනම් උත්තේජක භාවිතයේ ආදීනව, සෞඛ්‍යමය හානි හා නිවැරදි පෝෂණය පිළිබද දේශන පාසල් හා ක්‍රීඩා සමාජ වෙත ඉදිරියේදී ලබාදෙනු ඇත.
පාඨමාලාව සඳහා අයදුම්පත් 207ක් ලැබී තිබූ අතර, එයින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා සහ උපාධියක් හිමි අයදුම්කරුවන් 40ක් තෝරාගෙන ඇත. මේ අතර ක්‍රීඩා වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, පෝෂණවේදීන්, පාසල් ගුරුවරුන්, මාධ්‍යවේදීන් සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවන් හා ක්‍රීඩකයන් සිටියහ.