මීදෙනිය අදිකාරම් පරපුරේ කතාව වනාහි මේ රටේ නූතන ඉතිහාසයේ පරිච්ඡේදයකි. හර්කියුලිස් මීදෙනිය ද, පියා මෙන් පසු කලෙක රටේ මහත්තයා විය. මේ රටේ ඒ කාලයේ එවන් රටේ මහත්වරු වූහ. සිංහල භාෂාවේ, පළාත යන්න සඳහා ද ‘රට’ ලෙසින් භාවිත වන්නේය. ඒ අනුව එම පළාතේ අධිපතියා හඳුන්වන ලද්දේ රටේ මහත්තයා ලෙසය. මීදෙනිය පවුලේ එක් දියණියකගේ නම ඇඩ්ලින් මීදෙනියය. ඇය විවාහ වූයේ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ සමඟය. පළමු කථානායක ලෙස පත් ෆ්‍රැන්සිස් මොලමුරේගේ ප්‍රිය භාර්යාව ද, සිය පියාගේ ඇවෑමෙන් පාර්ලිමේන්තුවට පැමිණියාය. ලංකාවේ ව්‍යවස්ථාදායකයේ පළමු කාන්තා නියෝජනය එයය. අනිත් දියණිය රූබි මීදෙනිය විවාහ ප්‍රාප්ත වූයේ ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන් සමඟය.
මීදෙනිය පරපුර උඩරට හා සබරගමුවේ රදල පවුල් යා කළ පාලමක් විය. මඩුවන්වල, මහවලතැන්න, එල්ලාවල, මුත්තෙට්ටුගම, මාරපන ආදි ප්‍රභූ පරම්පරා අතර ‘මුල් දුවනවා සේ’ නෑකම් පැතිර යෑමේ හේතුවෙන්, ඒ කාලයේ සිටි ප්‍රභූ පවුල් එකට යා කිරීමට මීදෙනිය පරපුරට හැකි විය. ප්‍රවීණ රංගනවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය, මීදෙනිය වලව්වේ උරුමක්කාරිනියකි. හර්කියුලිස් මීදෙනිය රටේ මහත්තයා එතුමියගේ පියාය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල ප්‍රදේශයේ මීදෙනිය වලව්ව පිහිටා තිබේ. ඊයේ පෙරේදා කෑගල්ල බලා වෙනත් කාර්යයක් සඳහා යන අතරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිය ඥාති උරුමය සහිත මීදෙනිය වලව්ව බැලීමට ගියේය. නූතන ඉතිහාසයේ එවැනි වැදගත් ස්ථාන සහ පරපුරු සම්බන්ධතා, රසවත් මෙන්ම වැදගත් විෂය කේෂ්ත්‍රයක් වන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වනාහි මෙම විෂය පිළිබඳව ප්‍රවීණයෙක් හෙයින් ඔය වැනි ස්ථාන යළිත් බලා කියා ගන්නට හෙතෙම එහි ගියා වන්නට ඇත.
අයිරාංගනී සේරසිංහගේ නම මේ සමඟ කියවුණේ හෙයින් ඇය සමඟ රවින්ද්‍ර රන්දෙණිය රංගවේදියා රඟපාන ලද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කරන ලද වෑකන්ද වලව්ව චිත්‍රපටය මෙම තීරුවේ මතකයට පැමිණියේය.
රවින්ද්‍ර රන්දෙණිය වනාහි සිංහල සිනමාව සිය ප්‍රතිභාවෙන් වර්ණවත් කළ රංගවේදියෙකි. තරංගා චිත්‍රපටයෙන් සිය සිනමා ජීවිතය ආරම්භ කළ රවින්ද්‍ර රන්දෙණිය, පෙරේදා ඔහුගේ සිනමා දිවියේ ස්වර්ණ ජයන්තිය සැමරු හෙයින්, ඒ අග්‍රගණ්‍ය රංග පෞර්ෂය වෙනුවෙන් දිනමිණ ද සිය උපහාරය පුද කරන්නේය.
මේ තීරුව අද මාතෘකාව සඳහා පිවිසෙන්නේ විශාල වටයක් ගසාය. වෑකන්ද වලව්ව චිත්‍රපටය සඳහා පාදක වන්නේ මීදෙනිය වලව්ව වැනි කතාවක් නොවේ. ඇන්ටන් චෙකොෆ්ගේ චෙරි උයන නම් නාට්‍ය කතාංගය එහි පාදම වේ.
ලූබෝෆ් රැන්වෙස්කයා ආර්යාව ලෝකයේ අලංකාරම චෙරි වත්තේ අයිතිකාරියය. මිහිර සහ අලංකාරය කැටිවූ එම වත්ත ‘ශ්‍රී ලංකාව’ ලෙස ගෙන මෙතැන් පටන් ගත යුතුය. ආර්යාවගේ නසරානි ස්වාමිපුරුෂයා ෂැම්පේන් ‘මරුවෙකි’. බේබදුකමේ අග්‍රඵලය ලෙස හෙතෙම පවුලේ ධනය ද විනාශ කර, වේලාසනින්මැ උඩු කුරුඤ්ඤං ගසන්නේය. වැන්දඹුවක වන ආර්යාවට තවත් ශෝකජනක ඉරණමක්, මාසයකට පසු අත්විඳීමට ලැබෙන්නේය. අලංකාර වත්ත අසලින් ගලා යන දියේ ගිලී, පුංචි පුතා ‘ගිරෂා’ මිය යන්නේය.
සියල්ල අහිමිව අලංකාර වත්තක තනිවෙන ඇයගේ ජීවන විවරණය ලෙස චෙරි වත්ත නව කතාව හැඳින්විය හැකිය. අවසානයේ ඇය ‘චෙරි වත්ත’ අතහැර පැරීසියට පලා යන්නීය. එසේ ගලා යන කතාව, පොත කියවා හෝ වෑකන්ද වලව්ව සිනමා පටය නරඹා පාඨකයාට අවබෝධ කර ගත හැකිය.
එවන් ‘චෙරි වත්තක’ ජීවත්වූ අප රටක් ලෙස විඳි වදය පහසු නැත. මීට වසර දෙකකට පෙර රට යළි යළිත් මේ රටට මතක් කර දිය යුත්තේ, එහෙම අහේනියක් ලෝක යුද්ධ කාලයේවත් අප අත්දැක නොතිබූ හෙයිනි.
මෙයින් මිදෙන මං පෙත සඳහා, පටි තද කර ගැනීමේ යන්ත්‍රණයක් මුල් කාලයේ ක්‍රියාත්මක විය. තෙල් මිල ඕසේට වැඩි විය. විදුලි බිල අතට ගත් සැණින් කම්පනය ඇති කළේය. දැන් ඒ සියලු අපල ‘සපල’ වන කාලයක් පැමිණ ඇත්තේය.
ඩීසල් මිල, අවසාන මිල සංශෝධන දෙකේදී රුපියල් 46කින් අඩු විය. එහෙම වූ පළියට බස් ගාස්තුව ‘ගහෙන් බැස්සේ’ නැත. විදුලි බිල අඩු කිරීම සඳහා වන යෝජනාව අනුව ජූලි මස සිට ‘දැනෙන ගණනකින්’ ලයිට් බිල අඩු වෙනවා ඇත. එහෙම වුණාට ඒ සමඟ ඈඳුණු අනෙක් භාණ්ඩ සහ සේවා හී මිල අඩු වන්නේ නැත.
‘චෙරි වත්ත’ යථා තත්ත්වයට ගෙන ආව ද ඔහොම වල් පැළෑටි පහත් වන්නේය. මේ සරල උදාහරණ දෙක තුනක් පමණය. වගාව සහමුලින්ම වනසනා ‘රිළා උවදුර’ මෙන්, උද්ඝෝෂණ සෙට් එක ද පාරට බසින්නේය. දැන් දැන් වැඩේ සඳහා ජනතා විරෝධය මතුව ඇති හෙයින් උද්ඝෝෂණ සෙල්ලම පාරට එන්නේ කලාතුරකිනි.
අයෙක් දත කන්නේ මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අවුල් කරන්නටය. මේ රට බංකොලොත් කරන ලද්දේ ආණ්ඩුවෙන් අසා නොවේ. ඒ සඳහා කර තබන ලද්දේ මේ ආණ්ඩුවය. එහෙම ගේම් පවා ගොඩ දමාගෙන රටක් කරගෙන යන කල්හි, ජනතාව දැන ගත යුත්තේ ‘කඩාකප්පල්කාරියා’ කවුද යන්නය.