Home » අලුත් ඇසකින් ලොව දකින හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය දරුවෝ

අලුත් ඇසකින් ලොව දකින හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය දරුවෝ

ව්‍යවසායකත්ව පරපුරක් උදෙසා

by mahesh
June 7, 2024 1:00 am 0 comment

බුද්ධිකා බ්‍රහ්මණ

මෙරට ආර්ථිකය පිළිබඳව සංවාදයට ලක්වෙන සෑම විද්වත් සභාවකම මඟ නොහැරෙන මාතෘකාවක් තිබේ. එනම්, කාලයක් තිස්සේ මෙරට වියදමට සරිලන ලෙස ආදායම් දියුණු කර නැති බවයි. අධ්‍යාපනය ප්‍රමුඛ වශයෙන් සේවාවන් සඳහා වෘත්තිකයින් බිහිකිරීමට සීමාවී පැවති අතරම සමාජයේ සැලකිය යුතු කොටසක් යැපුම් මානසිකත්වයෙන් යුතු විය. මේ තත්ත්වය මඟහැරීමේ මූලික සංකල්පය ව්‍යවසායකත්වය පිළිබඳ අත්දැකීම් පාසල් සමයේම දරුවන් වෙත සමීප කර වීමයි. අග්නිදිග ආසියානු රටවල් බොහොමයක් සංවර්ධනය සඳහා ප්‍රවේශ වීමේදී කාන්තාවන් සහ දරුවන් ව්‍යවසායකත්වය පිළිබඳ සවිබල ගැන්වූ බව හඳුනාගත හැකිය. චීනය, ජපානය, තායිලන්තය, මැලේසියාව, කොරියාව මීට උදාහරණ සපයයි.

මෙරට මෙතෙක් පැවති අධ්‍යාපන ක්‍රමයේ සීමා හඳුනාගත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්වීමෙන් යුතුව ශ්‍රී ලංකේය සිසු පරපුර කර්මාන්ත ව්‍යසායකත්වය සඳහා සවිබල ගැන්වීම උදෙසා පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව පිහිටුවීමේ ජාතික වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මේ අනුව දිවයින පුරාම පාසල් විශාල සංඛ්‍යාවක දැනටමත් ව්‍යවසායකත්ව කව ආරම්භ කොට ඇති අතර, මෙම ඒ ඒ පාසල් සතු මානව හා භෞතික සම්පත්වල ස්වභාවයට අනුව පාසල් ව්‍යවසායකත්ව කවයන්හි වපසරියද සැකසී ඇති බව හඳුනාගත හැකිය. මෙම ව්‍යවසායකත්ව කව පිහිටුවීමේ අරමුණු අතර මුඛ්‍ය අරමුණ ලෙස සැලකෙන්නේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා, රට ගෙනයාම සඳහා පාසල් මට්ටමින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇතිකිරීමේ පදනම සැකසීමයි.

දකුණු ආසියාවේ විශාලතම ද්විතීයික පාසල ලෙස සැලකෙන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයයි. ඒ පාසල තුළත් ඉතාමත් දියුණු මට්ටමකින් ව්‍යවසායකත්ව කවයක් ක්‍රියාත්මක වනු හඳුනාගත හැකියි. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ව්‍යාවසායකත්ව කවය භාරව කටයුතු කරන චාමිකා ප්‍රසාදි ගුරු මහත්මිය දැක්වූ අදහස් මෙසේයි. පාසල තුළ ව්‍යවසායකත්ව කව ඇතිකිරීමේ කටයුතු අමාත්‍යාංශය වෙතින් යෝජනා කර ඇත්තේ අරමුණු කීපයක් පෙරදැරිවය.

කර්මාන්ත බිහිකිරීමට හා නව උත්පාදන සඳහා අවශ්‍ය වන්නා වූ ව්‍යවසායකත්ව සංස්කෘතියක් හා මානසිකත්වයක් රට තුළ ගොඩනැඟීම, රැකියා අපේක්ෂාවෙන් අධ්‍යාපනය හදාරන්නකු නොව රටේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන රැකියා නිර්මාණය කරන්නකු පාසල් තුළින් සමාජයට එක් කිරීම, සමාජයේ කවර හෝ පුද්ගල භූමිකාවක සාර්ථක ලෙස කටයුතු කිරීමේ හැකියාව ලබාදීම සඳහා ව්‍යවසායකත්ව නිපුණතා අත්පත් කරදීම. අභියෝග හමුවේ එයට ප්‍රතිචාර දක්වමින් එය තමාගේ වාණිජමය අවස්ථාවක් බවට පත්කර ගත හැකි දෙපයින් නැඟී සිටින ශ්‍රී ලාංකිකයකු බිහි කිරීම ආදියයි. අපි අපගේ ව්‍යවසායකත්ව කවයේ අත්දැකීම් ගොඩනඟන්නේ මේ සෑම ආකාරයකින්ම අනාගතය ගොඩනැඟිය හැකි පුරවැසියෙකු නිර්මාණය කිරීමටයි. මේ අරමුණු ඉටුකර සක්‍රිය ව්‍යවසායකත්ව කවයක් පවත්වා ගැනීමට අප පාසලේ විදුහල්පති සරත් බන්දු ගුණසේකර මහතාගෙන් ලැබෙන නායකත්වය ප්‍රශංසනීයයි. එමෙන්ම කාර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නිලධාරිනි දිනුෂි මහත්මිය අප වෙත ලබා දෙන මඟ පෙන්වීම අගය කළ යුතුයි.

අප පාසලේ ව්‍යවසායකත්ව කවය සඳහා පාසලේ 09 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සම්බන්ධ වී සිටිනවා. ඉන් පහළ පන්තිවල සිසුන් මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වනු දක්නට ලැබෙනවා. ව්‍යවසායකත්ව කවයේ පිරිස ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව කටයුතු කිරීම පාසලේ සෙසු අය තුළත් උද්‍යෝගය ඇතිකිරීමට සමත්වී තිබෙනවා. මුලින්ම ව්‍යවසායකත්ව කවයේ කටයුතු සඳහා අවශ්‍ය මූල ධනය සපයා ගත්තේ දරුවන්ගේ නිවෙස්වල එක්රැස්වූ පොල්කටු ගෙන්වා අලෙවි කිරීමෙන්. ඉන්පසුව දරුවන්ට පොල්කටු ආශ්‍රිතව නිර්මාණ කිරීම සඳහා තාක්ෂණික දැනුම ලබාදීම සඳහා පුහුණුවක් ලබාදුන්නා. ඉන්පසුව අපේ කවයේ දරුවන් කීපදෙනෙක් දක්ෂ ආකාරයෙන් පොල්කටු ආශ්‍රිත නිර්මාණ කරනවා. මීට අමතරව කේක් නිෂ්පාදනය, බේකරි නිෂ්පාදන, ගොක්කොළ ආශ්‍රිත නිෂ්පාදන කිරීම සඳහා දරුවන්ට පුහුණුවීම් ලබාදුන්නා. දැන් ඒ ආශ්‍රිතව නිෂ්පාදන කරන ව්‍යවසායක දරුවන් කීපදෙනෙක්ම බිහිවී සිටිනවා. ව්‍යවසායකයන් ලෙස අධ්‍යාපන කටයුතු අතර නිෂ්පාදන කිරීම හා ඒවායේ ගුණාත්මක බව දියුණු කිරීම සහ වෙළෙඳපොළ සොයාගැනීම වැනි කටයුතු ඉතා දුෂ්කරයි. නමුත් දරුවන් මේ අභියෝග ජය ගනිමින් ඉදිරියට යනු හඳුනාගත හැකියි.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයේ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කරන්නේ සෙනුර රවිසර සෙනරත් සිසුවායි. ව්‍යවසායකත්ව කවය පිළිබඳ ඔහුගේ අත්දැකීම් මෙලෙසය.

“ව්‍යවසායකත්ව කවයේ කටයුතු අධ්‍යපන කටයුතු අතර නවතම අත්දැකීමක් මාපියන් සෑම දෙයකටම මුදල් දිය යුතුය යන සංකල්පයෙන් බැහැර වීමට මෙය හොඳ අවස්ථාවක් වූ බවයි මගේ අදහස. එසේම හොඳ අරමුණක් ඇත්නම් ඒ වෙත ළඟා වීමට අවැසි සෑම සම්පතක්ම සමීප කර ගැනීම දුක්ෂර නැති බවයි ව්‍යවසායකත්ව කවයෙන් අපි ලත් අත්දැකීම. පොල්කටු නිෂ්පාදන පිළිබඳ දැනුම සහ අත්දැකීම් ලබාගැනීමෙන් අනතුරුව ඒ ඇසුරින් භාණ්ඩ නිෂ්පාදනය කළ නිෂ්පාදකයන් කීප දෙනා අතර අපනයන වෙළෙඳපොළ වෙත නිෂ්පාදන හඳුන්වා දුන් එක් සිසුවෙක් අපගේ කවයේ සිටින බව මා පවසන්නේ ආඩම්බරයෙන්. මීට අමතරව බිත්ති සැරසිලි, පොත් රඳවන, වෙසක් කාඩ්, උපන්දින සුබපැතුම් ආදී වශයෙන් කරන බොහොමයක් නිර්මාණ මුදල් ඉපයීමේ මඟක් ලෙස සැකසීමට අපේ සිසු සිසුවියන් බොහෝ දෙනෙක් දැන් කටයුතු කරනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාසල් ව්‍යවසායකයන්ගේ ප්‍රදර්ශනය සඳහා නිෂ්පාදන වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමයි අපගේ කවයේ අරමුණ. ඒ සඳහා සැවොම එක්වී කටයුතු කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT