Sunday, May 11, 2025
Home » මෛත්‍රී ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කරලා
ජූඩ් ශමන්තට අවස්ථා දෙකකදී සමාව දීමෙන්

මෛත්‍රී ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කරලා

දුන් සමාව වහාම බල රහිත කරයි

by mahesh
June 7, 2024 1:00 am 0 comment

රෝයල් පාක් ඝාතන සිද්ධිය

– පෙත්සම්කරුවන්ට ලක්ෂ10ක වන්දි මුදලක් ගෙවන්න මෛත්‍රීට නියෝග
– ඝාතනය වූ ඉවෝන්ගේ මවුපියන්ට ලක්ෂ 10 බැගින් වන්දි ගෙවන්නත් නියෝග
– සිරකරුවකුට ජනාධිපති සමාව දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගවලට පිටින් ගිහින්
– ජූඩ් ශමන්ත සිටින තැනකින් මෙරටට ගෙන්වා බන්ධනාගාරගත කිරීමටත් නියම කරයි
– ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් ඒකමතික තීන්දුවක්

රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුමට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි දොන් ජූඩ් ශමන්ත ඇන්තනී ජයමහ නමැත්තාට ජනාධිපති සමාවන් දෙකක් ලබාදීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව විසින් ලබාදී ඇති ජනතා පරමාධිපත්‍ය බලය බරපතළ ලෙස උල්ලංඝනය කරමින් චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කර ඇති බවට ඒකමතිකව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ජනාධිපති සමාව වහාම ක්‍රියාත්මක වන පරිදි බලරහිත කිරීමට ඊයේ (06) තීරණය කළේය.

සිරකරුවකුට ජනාධිපති සමාව ලබාදීමේදී අනුගමනය කළ යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් එහිදී අනුගමනය කර නැති අතර හිටපු ජනාධිපතිවරයා සිය බලය බරපතළ ලෙස අවභාවිතා කරමින් එහිදී අනීතිකව කටයුතු කර ඇති බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එම සමාව ලබාදීමට හේතු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අසමත් වී ඇති බවටද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී.

අදාළ වරදකරුට සමාව ලබාදීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර අවසානයේ ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශ කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙකී සමාව ලබාදීමේ ක්‍රියාවලිය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එමඟින් සහතික කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උල්ලංඝනය කර ඇති බවට විනිසුරු මඬුල්ල විසින් තීන්දු කෙරිණි.

ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් පෙත්සම්කාර පාර්ශ්වයට සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම කෙරිණි.

එම මුදල් මාසයක් ඇතුළතදී ගෙවිය යුතු බවටද නියම කෙරිණි.

එසේම වින්දිත පාර්ශ්වය වන ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන්ගේ මව්පියන් වන රොජර් ජොන්සන් සහ කැරලයින් ජොන්සන් වෙත රුපියල් ලක්ෂ දහය බැගින් වන්දි මුදල් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසට ද මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම කෙරිණ.

එසේම ඔවුන්ට වැය වූ නඩු ගාස්තු ද ඔහු විසින් ගෙවිය යුතු බවට නියම කරන ලදී.

සිය දියණිය අහිමි වූ මව්පියන්ට නීතියේ පිළිසරණක්ද නැතිව විඳීමට සිදුවූ මානසික පීඩාව පිළිබඳව අධිකරණයේ සුවිශේෂි අවධානය යොමු වූ බවද එම පීඩාව සහ ඔවුන්ට අත්විඳීමට වූ මානසික වේදනාව මුදලින් තක්සේරු කළ නොහැකි වුවද ඔවුන්ට යම් සාධාරණයක් ඉටු කිරීම උදෙසා මේ වන්දි මුදල ඔවුන් වෙත ගෙවීමට හිටපු ජනාධිපතිවරයාට නියම කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි සඳහන් වේ.

ජනතාව ගෙවන බදු මුදල් මෙවැනි ක්‍රියාවන් සඳහා වන්දි ගෙවීමට යෙදවීම සුදුසු නොවන බැවින් අදාළ මූලික අයිතිවාසිකම් කඩකිරීම වෙනුවෙන් රුපියල් සියය බැගින් වන වන්දි මුදලක් සහ ඊට අදාළ නඩු ගාස්තු පෙත්සම්කාර පාර්ශ්වය සහ ඝාතනයට ලක්වූ තරුණියගේ මව්පියන් වෙත ගෙවන ලෙස රජයට නියම කරන බවද නඩු තීන්දුවේ සඳහන් වේ.

දැනට මෙරටින් පලා ගොස් සිටින බව පැවසෙන ජූඩ් ශමන්ත ඇන්තනී ජයමහ නමැත්තා සිටින තැනකින් සොයාගෙන මෙරටට රැගෙන ඒම සඳහා උදර්පන නීතිය සහ ජාත්‍යන්තර සම්මුතීන් අනුව කටයුතු කරන ලෙස ද බලධාරීන්ට නියම කෙරිණ.

මෙරටට රැගෙන ආ විගස ඔහු නැවත බන්ධනාගාරගත කරන ලෙස ද නීතිපතිවරයාට නියම කරන ලදි.

එකී අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලිසිය ඇතුළු අදාළ පාර්ශ්වයන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙස ද අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස ද නීතිපතිවරයාට නියම කෙරිණි. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මඟින් කරුණු දැනුම් දෙන ලෙස ද නීතිපතිවරයාට නියම විය.

මේ පෙත්සම විභාග කළ එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුව මත මේ නියෝග කරන ලදි.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් අවසන් ඒකමතික තීන්දුවක් ලබාදුන් විනිසුරුවරුන් තිදෙනාම ඊට හේතු පැහැදිලි කරමින් පිටු තුන්සිය හයකින් යුතු නඩු තීන්දු තුනක් වෙන් වෙන්ව ප්‍රකාශයට පත් කළහ.

එම හේතු පැහැදිලි කිරීම් ඇතුළත් සාරාංශ නඩු තීන්දු විනිසුරුවරුන් තිදෙනා විසින්ම විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන ලදී.

එහිදී විනිසුරුවරුන් තිදෙනාම සඳහන් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ විත්තිකාර වගත්තරකරු වන දොන් ජූඩ් ශමන්ත ඇන්තනී ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ලබාදීමේදී මුළුමනින්ම නීතියට පටහැනි ලෙස කටයුතු කර ඇති බවය.

සුවිශේෂී අවස්ථාවලදී භාවිතා කිරීමට පමණක් ලබාදී ඇති ජනාධිපති සමාව ලබාදීමේ බලය අනීතික ලෙස භාවිතා කිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවට විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව ප්‍රකාශයට පත් කරන ලදී.

රාජගිරියේ රොයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමට වරදකරු වූ දොන් ජූඩ් ශමන්ත ඇන්තනී ජයමහ නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවස්ථා දෙකකදී ජනාධිපති සමාව ලබාදී ඇති බවට නඩු තීන්දුවේ සඳහන් වේ.

ඔහුට මහාධිකරණය විසින් වසර දොළහක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබූ අතර ඊට එරෙහිව නීතිපතිවරයා ඔහු විසින් ගොනු කළ අභියාචන පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් එය මරණ දඬුවමක් දක්වා දීර්ඝ කරන ලදි.

එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලදි.

එම මරණ දඬුවම ජීවිතාන්තය තෙක් වෙන සිරදඬුවක් ලෙසට පරිවර්තනය කරමින් 2016 මැයි මස 17 වැනි දින පළමුවැනි ජනාධිපති සමාව ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වෙයි.

එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් සිරකරුවකුට සමාව ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් කිසිදු ආකාරයකින් හෝ අනුගමනය කිරීමට කටයුතු කර නැති බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.

ඒ අනුව එම සමාව ලබාදීම නීති විරෝධී සහ බල ශුන්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී. එම සමාව ලබාදීමේදී තවත් සිරකරුවන් හැටදෙනෙකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලබාදී ඇති අතර එම සිරකරුවන්ට මේ නඩු තීන්දුව මඟින් කිසිදු බලපෑමක් නොවන බවද එම තීන්දුව මඟින් පෙන්වාදී තිබේ.

මේ විත්තිකරුට දෙවන වරට ජනාධිපති සමාව ලබාදීම 2019 ඔක්තෝ­්බර් මස 30 වැනිදා කර ඇති අතර එමඟින් ඔහුට ලබාදී තිබූ සිරදඬුවම් අහෝසි කර තිබුණි.

එකී සමාව ලබා දීමට මුල් වූ හේතු අධිකරණය හමුවේ පැහැදිලි කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අපොහොසත් වී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ එම සමාව ලබාදීමට අදාළව ඇති ලිපි ගොනුවල ද ඒ සම්බන්ධයෙන් කිසිදු සටහනක් නැති බවට විනිසුරු ජනක් ද සිල්වා මහතා සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය මඟින් සහතික කර ඇති

නීතිය ඉදිරියේ සැමට සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර ඇති බවට එම නඩු තීන්දුවේ සඳහන් වේ.

එසේම සිරකරුවකුට සමාව ලබාදීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේ පැහැදිලි ලෙසම සඳහන් කර ඇති බව විනිසුරු ජනක් ද සිල්වා මහතා සිය තීන්දුව මඟින් පෙන්වාදී තිබේ.

එහිදී අදාළ සිරකරුට එම දඬුවම් නියම කළ අදාළ නඩුව විභාග කළ විනිසුරුවරයා හෝ විනිසුරු මඬුල්ලේ මතය විමසිය යුතු අතර එම මතය සමඟ නීතිපතිවරයාගේ මතය විමසිය යුතුය.

ඉන් අනතුරුව නීතිපතිවරයාගේ නිර්දේශය ලබාගත යුතුය.

එම කරුණු දෙකම නීතිපතිවරයා විසින් අධිකරණ ඇමැතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව අධිකරණ ඇමැතිවරයා විසින් එම නිර්දේශ සියල්ල ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතුය.

මෙකී මේ ඝාතන සිද්ධියේ වරදකරු වන දොන් ජූඩ් ශමන්ත ඇන්තනී ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ලබාදීමේදී එම ක්‍රියාපටිපාටිය සම්පූර්ණ වශයෙන්ම නොසලකා හරිමින් කටයුතු කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වාදී තිබේ.

එමඟින් ආණ්ඩු ක්‍රමවස්ථාවේ 12 (1) වගන්තිය සහ 34 (1)වගන්තිය නොතකා හරිමින් එම වගන්තින් උල්ලංඝනය කිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවද අදාළ නඩු තීන්දුවේ සඳහන් වෙයි.

වරදකරුවකුට ජනාධිපති සමාව ලබාදීමේ සුවිශේෂී බලය ජනාධිපතිවරයාට ඇත්තේ සුවිශේෂී අවස්ථාවලදී භාවිතා කිරීමට පමණක් බව තීන්දුව මඟින් පෙන්වා දෙන විනිසුරු ජනක් ද සිල්වා මහතා එය පොදු යහපත සඳහා භාවිතා කළ යුතු බවට පෙන්වාදී තිබේ.

එහෙත් මේ විත්තිකරුට සමාව ලබාදීමේදී පොදු යහපත යන කරුණු සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කිසිදු අවධානයක් යොමු කර නැති බවද පෙත්සමෙහි තීන්දුවේ සඳහන් වෙයි.

සිරකරුවකුට සමාව ලබාදීම විධායක ක්‍රියාවලියක් වන අතර එය මූලික අයිතිවාසිකම්වලට යටත්වන බවට තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු තුරෙයි රාජා මහතා සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ සමාව ලබාදීමේ ක්‍රියාවලිය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ තර්කය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බව ද එවැනි ක්‍රියාවලියක් අධිකරණය හමුවේ ප්‍රශ්න කළ හැකි බව ද විනිසුරුවරයා විසින් තීන්දු කර ඇත.

ජනාධිපති සමාව ලබාදීමේදී අනුගමනය කළ යුතු සුවිශේෂී මාර්ග සම්බන්ධයෙන් උපදේශ මාලාවක් තිබීම අතිශයින් වැදගත් බවට අධිකරණයේ මතය බව මේ නඩු තීන්දුවේ සඳහන් වේ.

එහෙත් එවැනි මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය හෝ නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ කිසිදු ඉල්ලීමක් කර නැති බවද අදාළ නඩු තීන්දුව මඟින් පෙන්වාදී තිබේ.

කෙසේ වුවද මෙවැනි සමාව ලබාදීමේ ක්‍රියාවලියකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයාට, ජනාධිපති ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දිය යුතු බවට නීතිපතිවරයාට අධිකරණය විසින් නියෝග කර තිබේ.

සමාව ලබාදීමේදී අනුගමනය කළ යුතු මූලධර්ම හා සිද්ධාන්ත පිළිබඳව එහිදී අවධානය යොමු කළ යුතු අතර එම උපදෙස් ලබාදීමෙන් අනතුරුව එකී කරුණු සම්බන්ධයෙන් අධිකරණයට මාසයක කාලයක් තුළදී කරුණු දැනුම් දෙන ලෙසද නීතිපතිවරයාට නියම කරන ලදී.

සිරකරුවකුට සමාව ලබාදීම පොදු යහපත සඳහා කළ යුතු බව තීන්දුව මඟින් පෙන්වාදී තිබේ.

මේ තැනැත්තාට සමාව ලබාදීමේ ඉල්ලීම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් සහ එම වරදකරුගේ මව්පියන් විසින් ද කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

ඊට අමතරව ඔහු විසින්ම පෞද්ගලිකව ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඇති බවද විනිසුරු මඬුල්ල විසින් පෙන්වාදී තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයාට ලිපියක් මඟින් අදහස් විමසා ඇති බවද විනිසුරු මඬුල්ල විසින් පෙන්වාදී තිබේ.

මේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය මඟින් සිරකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් දක්වා ඇති නීතිමය ක්‍රියාපටිපාටිය සහමුලින්ම උල්ලංඝනය කිරීමක් බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.

මේ සියලු කරුණු සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කර ඇත්තේ මේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වී සිටි ජූඩ් ශමන්ත ඇන්තනී ජයමහ නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවස්ථා දෙකකදී දුන් ජනාධිපති සමාව නීතියට පටහැනි වන අතර එයින් බල ශුන්‍ය වන බවය.

එබැවින් ඔහු සිටින රටකින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් නැවත බන්ධනාගාරගත කරන ලෙස ද ඊට අදාළ අධිකරණ නියෝගයන් මහාධිකරණය වෙතින් ලබා ගන්නා ලෙස ද නීතිපතිවරයාට විනිසුරු මඬුල්ල විසින් නියම කර තිබේ.

එසේම ඔහු සිරභාරයට පත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වන කරුණු මෝසමක් මඟින් අධිකරණයට වාර්තා කරන ලෙස ද මේ නඩු තීන්දුවට අදාළව ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාස දෙකකට වරක් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයාට තවදුරටත් නියම කරන ලදී.

කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව නමැති සංවිධානයක් විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී දහනම හැවිරිදි ඉවෝන් ජොන්සන් නම් තරුණිය මරා දැමීම සම්බන්ධයෙන් ජූඩ් ශමන්ත ඇන්තනී ජයමහ නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් වසර 12ක සිර දඬුවමක් නියම කර තිබුණි.

ඊට එරෙහිව ඔහු සහ නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය 2012 වසරේදී එහි තීන්දුව ලබාදෙමින් ඔහුට නියම කළ සිර දඬුවම වෙනුවට මරණ දඬුවම පැනවීමට තීරණය කළේය.

ඊට එරෙහිව ගොනුකළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම මරණ දඬුවම තහවුරු කළේය. අනතුරුව විශේෂ ජනාධිපති සමාවක් යටතේ ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී සිටි ශමන්ත ජයමහ නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබාදෙන ලදි.

එලෙස ජනාධිපති සමාව ලබාදීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) විධිවිධානය මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මේ පෙත්සම ගොනුකර තිබුණි.

මේ පෙත්සම් විභාගයට ගැනීමට මීට පෙර තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණයේ අවසරයකින් තොරව ජූඩ් ශමන්ත ජයමහ නමැත්තාට විදෙස්ගතවීමට අවසර නොදෙන ලෙස ආගමන විගමන පාලකවරයාට නියම කළේය.

එහෙත් ඒ වන විට ඔහු විදේශගත වී ඇති බව පසුව අනාවරණය විය.

දින පහක් පුරා පැවති එම පෙත්සම් විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත තීන්දුව ලබාදෙන ලදි.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වින්දිත තරුණියගේ මව්පියන් වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටියේය. අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඝාත­න­යට ලක් වූ ඉවෝන් ජොන්සන් සහ ඝාතක ජූඩ් ශමන්ත ඇන්තනී ජය­මහ

ඝාත­න­යට ලක් වූ ඉවෝන් ජොන්සන් සහ ඝාතක ජූඩ් ශමන්ත ඇන්තනී ජය­මහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT