අගමැතිවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ, පාර්ලිමේන්තුවේ ප්‍රශ්න විමසීමේදී අදාළ සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුගමනය කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, කථානායක, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමිනි.
ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
“මේ පිළිබඳ අපේ රාජ්‍ය ඇමැතිතුමා පිළිතුරු දෙයි. නමුත් මම ඔබතුමාගේ හා සභාවේ අවධානයට ගෙන එන්න කැමතියි, මම සභානායකතුමාටත් දැන් කිව්වේ මේ ස්ථාවර නියෝගය හා එහි ඇතිවුණු හේතු සාධකය යළි අවධානයට ගත යුතුයි. බ්‍රිතාන්‍යයේ මේ සම්ප්‍රදාය ඇති කළේ අගමැතිවරයාගෙන් හදිසි වැදගත් කාරණාවක් ගැන විමසීමට. දැන් ඊයේත් අපි යම් යම් ප්‍රශ්න ගැන විපක්ෂ නායකතුමා නඟපු දේ, නැවත රිපීට් වෙනවා.
මේ ප්‍රශ්න සමුදායට අපි උත්තර දෙන්න ලෑස්තියි. මම ඉල්ලා සිටිනවා කථානායකතුමාගෙන් ඒ ස්ථාවර නියෝගය අනුව මීට පස්සේ කටයුතු කරන්න ඔබතුමාලා බැඳී සිටිනවා අපි වෙනුවෙන්. මොකද පැහැදිලිව අපි ගත්තේ House of Commons වලින්. ඒක ඇතිවුණු හැටි හා මෑත කාලයේ, ගිය පාර්ලිමේන්තු කාලයේත් යම් යම් සංශෝධනයන් කරලා ඊට පිළිතුරු දීම පවා, වේලාව ඕනේ නම් දවසේ ඕන වෙලාවක, ප්‍රශ්නය අහන මන්ත්‍රීතුමා ඉන්න වෙනවා අග්‍රාමාත්‍යතුමා ඇවිල්ලා පිළිතුරක් දෙනවා නම්.
ඉතින් මේක කථානායකවරු කිහිප දෙනෙක් මීට කලින් කළා. මම කියන්නේ කිසිම මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රශ්න අහන්න එපා කියන එක නෙවෙයි. අමාත්‍යාංශ 10ක විතර ප්‍රශ්න ගෙනල්ලා ඇහුවහම අපිට උත්තර දෙන්න පුළුවන්, නමුත් අද කටයුතු, අනිත් ඔක්කොම කටයුතු ඇනහිටිනවා. මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ විපක්ෂ නායකතුමාත්, සභානායකතුමාත්, විපක්ෂ සංවිධායකතුමාත්, විශේෂයෙන් කථානායකතුමත්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහාතා –
ඊයෙත් සමාන ප්‍රශ්න දෙකක් දීලා තිබ්බා. ඇත්ත වශයෙන්ම දෙවැනි ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන්න තිබ්බා. ඊයෙත් පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රශ්න ඇති වුණේ, සමාන ප්‍රශ්න දෙකක් නිසා. එතකොට පළවෙනි ප්‍රශ්නය පිළිගත්ත නම්, දෙවැනි ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන්න තිබ්බා. දැන් දෙකම පිළිඅරගෙන. ඒ පිළිගත්ත නිලධාරින් ස්ථාවර නියෝග අනුව දෙවැනි ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන්න තිබ්බා. ඉතින් දෙකම පිළිගත්ත නිසා තමයි ඒ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වුණේ. ඉතින් අගමැතිතුමා කියන්නේ ස්ථාවර නියෝග ගැන මීට වඩා, පාර්ලිමේන්තුව තුළ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැතුව, කාර්යාලවල විසඳන්න මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෑ.