“මට ලබාදුන් ගෞරවනීය සෙනෙහස හේතුවෙන් භාරත ජනතාවට මම හිස නමා ආචාර කරනවා. ඒ වගේම ජනතාවගේ අභිලාෂයන් පසුගිය දශකය තුළ ඉටුකළා සේම අඛණ්ඩව ඉදිරියටත් කරගෙන යන බවට මම ඔවුන්ට සහතික වෙනවා.”
නරේන්ද්‍ර මෝදි මේ අයුරින් ප්‍රකාශයක් කරනු ලැබුවේ ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණයෙන් පසුවය. මැතිවරණයට පෙර සිටම භාරතීය ජනතා පක්ෂය විශාල මැතිවරණ ජයග්‍රහණයක් බලාපොරොත්තු වුවද ඔවුනට එය, ඒ ආකාරයෙන්ම ඉටු නොවන බව පෙනී ගියේ මැතිවරණ ප්‍රතිඵල පිටවීමෙන් පසුය. එහෙත් මැතිවරණ නිරීක්ෂකයින් පවා පුදුමයට පත් කරමින් කොංග්‍රස් පක්ෂය ඔවුනගේ පාර්ශ්වයෙන් යහපත් දියුණුවක් පෙන්නුම් කරන්නට විය. ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන පරිදි මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 293ක් දිනා ගැනීමට සමත් වූ අතර භාරතීය ජනතා පක්ෂය දිනා ගනු ලැබුවේ තනිව ආසන 240ක් පමණි. මෝදිගේ අගමැති සිහිනය තෙවනවරටත් ජයග්‍රහණය කළ මුත් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ බලය තමා වෙත රඳවාගන්නට ඔවුනට හැකියාවක් ලැබුණේ නැත. මැතිවරණය පැවැත්වීමට පෙර මෝදි විසින් ඉලක්ක කර තිබූ ආසන සංඛ්‍යාව වූයේ ආසන 400කි. එහෙත් මෝදිගේ එම සිහිනය බිඳී ගියේ, තම ඉලක්කයටත් වඩා බෙහෙවින් අඩු ආසන සංඛ්‍යාවක් මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළ හෙයිනි.
ලෝකයේ විශාලතම මැතිවරණය
පසුගියදා ඉන්දියාවේ පැවැත් වූ මහ මැතිවරණය, ලෝකයේ විශාලතම මහ මැතිවරණය වූවාට සැක නැත. එහෙත් ලොව විශාලතම මැතිවරණයෙන් ඉන්දියාවේ මෝදිට බලාපොරොත්තු වූ ආකාරයේ විශාල ජයග්‍රහණයක් නම් ලබාගැනීමට නොහැකි විය. මැතිවරණය සැලසුම් කර තිබුණේ පසුගිය අප්‍රේල් 19 වැනිදා සිට ජුනි 1 වැනිදා දක්වා සති 6ක කාලයක් තුළය. ඒ ආකාරයට මැතිවරණය පැවැත්වීමට සූදානම් කිරීමේ කාලසටහන ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ලැබුවේ ආරක්ෂක හේතූන් මුල් කරගනිමිනි. කෙසේ වෙතත් අදියර 7ක් යටතේ මෙම මැතිවරණය වෙනුවෙන් දින 44ක කාලයක් වැය කර තිබිණි. මැතිවරණයට දින සඳහන් කළදා සිටම විරුද්ධ පක්ෂයෙන් මෝදිට විරුද්ධව නොයෙක් ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් වූ අතර, ඔවුන් පවසා සිටියේ ඔහු නැවත වරක් ජයග්‍රහණය කළහොත් ඉන්දියානුවන්ගේ බොහෝ අයිතීන් අහිමි වන බවය.
එහෙත් ඒවාට පිළිතුරු ලෙසින් භාරතීය ජනතා පක්ෂය සඳහන්කර සිටියේ අධික දුගීභාවයෙන් පෙළෙන මිලියන 800ක ජතාවට නොමිලේ ධාන්‍ය ලබාදෙන හා අඩු ආදායම් ලාභී පවුල්වල කාන්තාවන්ට මාසික දීමනාවක් ලබාදෙන සුබසාධන යෝජනා ක්‍රම පවා හඳුන්වාදී ඇති බවය.
කොයිහැටි වෙතත් මෙවර පැවැත් වූ මැතිවරණය වෙනුවෙන් ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ලැබ සිටියේ ඉලෙක්ට්‍රොනික ඡන්ද පත්‍රිකා භාවිතා කිරීමටය. මේ වනවිට ඉන්දීය ජනගහනය බිලියන 1.4ක් වනවිට ඔවුන්ගෙන් මිලියන 969ක් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ සිටියහ.
පූර්ණ බහුතරයක් නැති මෝදි
මෙම මැතිවරණයෙන් ලෝකයේ සියල්ලටම පාහේ පෙනී ගිය කරුණක් තිබිණි. එනම් ඉන්දියාව ආර්ථික හා අනෙකුත් දෑ අතින් සංවර්ධිත මට්ටම කරා ගෙන යන්නට මෝදිගේ පාලන සමය ඉවහල් වුවද, ජනතාව අතර ඇති ඔහුගේ ආකර්ෂණීය බව ක්‍රමයෙන් අඩුව ඇති බවයි. 2024ට පෙර පැවති මැතිවරණවලදී පාර්ලිමේන්තු බහුතර බලය ඔහුට හිමි වුවද මෙවර එය වෙත ළඟා වීමට මෝදි ප්‍රමුඛ සන්ධානයට නොහැකි විය. 543ක් වන ලෝක් සභාවේ ආසනවලින් තනි පක්ෂයක් ආණ්ඩුවක් පිහිටුවීමට නම් අනිවාර්යෙන්ම ආසන 272ට වඩා ලබාගත යුතුය. එහෙත් මෙවර වැඩි ආසන ප්‍රමාණයක් දිනාගත් තනි පක්ෂය වන මෝදිගේ පක්ෂයට දිනාගත හැකි වූයේද ආසන ඊට අඩු ප්රමාණයකි. එහෙත් 2014 වසරේදී මෝදිගේ පක්ෂය ආසන 282ක් දිනාගත් අතර 2019 දී එය ආසන 303ක් විය.
මෙම මැතිවරණ ප්රතිඵලවලින්ම පෙනීයන කරුණු වන්නේ එම පක්ෂයේ පසුබෑම මිස අන්කවරක්වත් නොවේ. මෙවර භාරතීය ජනතා පක්ෂය තරග කරනු ලැබුවේ ජාතික ප්රජාතන්ත්රවාදි සන්ධානය නම් වූ, සන්ධානය මුල් කරගනිමිනි. මෙම සන්ධානය ආසන 293ක් ජයග්‍රහණය කළද භාරතීය ජනතා පක්ෂයට ඉන් වෙන් වූයේ ආසන 240ක් පමණි.
රාහුල් ගාන්ධි
රාහුල් ගාන්ධි මේ වනවිට තමන් සිතුවාටත් වඩා ජයග්‍රහණයක හිමිකරුවෙක් වී සිටී. තමා බලාපොරොත්තු වූ ආසන 400 සීමාව දක්වා ගමන් කිරීමට නොහැකි වූ මෝදි තමාට හිතවත් පක්ෂ සමඟින් සාකච්ඡා කරමින් සිටින විට කොංග්‍රස් පක්ෂයද මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටීම විශේෂිතය.මෝදිගේ ප්‍රතිවාදියා වන්නේ කොංග්‍රස් පක්ෂ වූවද ඉන් වඩා කැපී පෙනෙන තරුව වන්නේ රාහුල් ගාන්ධිය. කෙසේ වෙතත් 2014 මැතිවරණයෙන් පසු ප්‍රබල පසුබෑමකට ලක්ව සිටි කොංග්‍රසය මෙවර ඉන් මිදී ජයග්රාහි මාවතක ගමන් කරනා බවක් පෙනෙන්නට තිබෙන කරුණකි. 2019 වසරේ පැවති මැතිවරණයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ආසන 52ක් වුවත් කොංග්‍රසය මෙවර ආසන 99ක් දිනාගැනීමට සමත්විය. එමෙන්ම ඔවුන්ගේ සන්ධානය වන INDIA ද මෙවර ආසන 234ක් දිනාගැනීමට සමත්විය. පෞද්ගලික වශයෙන් මෙවර කොංග්‍රසය ලබාගත් ජයග්‍රහණයේ වැඩබර ලැබිය යුත්තේ සෝනියා ගාන්ධිට මෙන්ම රාහුල් ගාන්ධිටය. කොයිහැටි වෙතත් වර්තමානයේ ජාතික ප්රජාතන්ත්රවාදී පක්ෂය සමඟ එක්ව කටයුතු කරන පක්ෂ කිහිපයක් මින් පෙර සම්බන්ධව කටයුතු කළේ කොංග්‍රස් පක්ෂය සමඟිනි. මේ නිසා ඔවුන්ගේ වෑයම වන්නේ මේ මොහොතේ එම පක්ෂ සමඟ සාකච්ඡා කර ආණ්ඩුවක් පිහිටුවීමයි.
හින්දු ජාතික වාදය
මේ වනවිට බොහෝ දෙනෙකුගේ මාතෘකාව වී ඇත්තේ හින්දු ජාතිකවාදි පක්ෂයක් වන මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ වූ පසුබෑමය. තවත් අයුරකින් කිවහොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීමය. පසුගිය ජනවාරි මාසයේදී මෝදි විසින් හින්දු කෝවිලක් විවෘත කරනු ලැබුවේ හින්දු මුස්ලිම් මතභේදාත්මක ගැටුම් පවතින ස්ථානයකය. මෙම හින්දු කෝවිල විවෘත කිරීමෙන් මෝදි ඇතුළු ජනතා පක්ෂය එයින් ඡන්ද ප්‍රතිශතයේ වෙනසක් බලාපොරොත්තු වූ බව අනිවාර්යෙන්ම කිවයුතුය. එහෙත් බලාපොරොත්තු වන දේ, ඒ ආකාරයෙන්ම සිදු නොවනා බව මෝදිටද ඒත්තු යන්නට ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල පිටවූවාටත් පසුවය.
අයෝධ්‍යාවේ මෙම රාම් මන්දිරය විවෘත වූයේ ජනවාරි 22 වැනිදාය.
මෙවර පැවති මැතිවරණයේ විශේෂත්වයක් වූයේ වයස අවුරුදු 27 අඩු වූ තරුණියෝ තිදෙනෙක් ලෝක් සභාවට තේරී පත්වීමයි. ඉන් දෙදෙනෙක් සමාජවාදී පක්ෂය නියෝජනය කරන අතර අනෙක් තරුණිය ‘ජනශක්ති පක්ෂය’ නියෝජනය කරයි. එමෙන්ම ජනප්‍රිය නිළියක වූ 37 හැවිරිදි කන්ගනා මැතිවරණයට ඉදිරිපත් වූයේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙනි. මණ්ඩි ආසන ඇය ජයග්‍රහණය කරනු ලැබුවේ වැඩි ඡන්ද 75,000කට ආසන්නව සංඛ්‍යාවකිනි. තවද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු වූ යුසුෆ් පතාන්ද බටහිර බෙංගාලයේ ආසනයකට තරග කළ අතර ඔහුද තම ජයග්‍රහණය තහවුරු කරගනු ලැබුවේය. ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ ත්‍රිනමුල් කොංග්‍රසය නමැති පක්ෂයෙනි.
-රජිත බස්නායක