Home » හොරු අල්ලන න්‍යාෙයන් දේශපාලන බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ

හොරු අල්ලන න්‍යාෙයන් දේශපාලන බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ

- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by sachintha
June 10, 2024 1:28 am 0 comment

එන හැම ආණ්ඩුවක්ම බලයට ආ‍ෙව් යුද්ධය නවත්වනවා කියලා. ඒත් අවුරුදු 30ක්ම යුද්ධය වවාගෙන කෑවා. අපි යුද්ධය ඉවර කළා

වංචා සහ දූෂණ අවම කරන්න අවශ්‍ය ප්‍රාෙයා්ගික වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා

“මේ රටේ ජනතාවට ද්‍රෝහි වන කිසි දෙයකට අපි අත තියන්නේ නෑ. මේ මහ පොළොවේ එක් බිම් අඟලක් විකුණන්න ඉඩ දෙන්නේ නෑ.” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (08) රත්තොට බස් නැවතුම්පොළ භූමියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසන සමුළුව අමතමිනි.

මෙය ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා විසින් සංවිධාන කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“වසර 30ක් පැවති කුරිරු යුද්ධයෙන් රට බේරාගෙන එදා මුඩුබිමක්ව පැවති රට වැඩබිමක් කළා. ඉදිරියේදී එන ඕනෑම අභියෝගයකට මුහුණදී රට යළි සංවර්ධනය කරාගෙන යෑමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරනවා.

වසර තිහක් පැවති යුද්ධය අවසන් කරනවා, එහෙමත් නැත්නම් ගිවිසුමක් ගසා සාමය ගෙන එනවා යැයි පවසමින් රටේ බලය ගන්න එදා සියලු නායකයන් කටයුතු කළා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණ වසර තුනකදී යුද්ධය නිම කළා. රට සංවර්ධනය කළා.

එදා යුද්ධය වවාගෙන කාපු පක්ෂ අද වංචා හා දූෂණ වවාගෙන කන්න උත්සාහ කරනවා. ඒ අය බලයට එන්නේ හොරු අල්ලන්න. පහුගිය යහපාලන ආණ්ඩු ආවෙත් හොරු අල්ලන්න. ඒ සඳහා වෙනම විශේෂ පොලිසියකුත් හැදුවා. හොරු අල්ලන්න ජනාධිපති කෙනෙක් ඕනෙද? පොලිස්පතිට ඒ වැඩේ කරන්න පුළුවන්. දේශපාලන වේදිකාවල කියන්නේ හොරු අල්ලලා රටට සල්ලි ගේනවා කියලා. ඔවුන් සූදානම් වෙන්නේ තව අවුරුදු තිහක් යුද්ධය වවන් කෑවා වගේ හොරු අල්ලන න්‍යායෙන් තමන්ගේ දේශපාලනය කරන්න.

පහුගිය කාලේ අපේ ආණ්ඩුව යම්කිසි කණ්ඩායමක් විසින් කුමන්ත්‍රණය කර වැට්ටුවා. මහජනතාව විශාල බලාපොරොත්තුවක් තබාගෙන මහින්ද ජනාධිපතිවරයාගේ දැක්ම ඉදිරියට ගෙන යෑමට හැට නව ලක්ෂයක් ඡන්දයදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්කළා. ඒ කාලයේ කොවිඩ් වසංගතය ආවා. අපි ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා. ජනතාවට එකවරක් නෙවේ, දෙතුන් වරක් පන්දාහේ දීමනාව දුන්නා. අපි ඒ මොහොතේ කටයුතු කළේ මේ රටේ මහජනතාවට මහ පාරේ මැරෙන්න දෙන්නේ නැතුව රැක ගන්නයි. අපි ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා.

මේ රටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමයි පොදුජන පෙරමුණේ අපේක්ෂාව. නමුත් සමහරු හිතාගෙන ඉන්නවා, මේ රටේ ආර්ථිකය හසුරුවන්න ඕනෙ ගොවියගෙ, කම්කරුවගේ, ධීවරයගෙ, කුරුඳු ගොවියාගේ, කුඩා තේ වතු හිමියාගේ අයිතියට වඩා IMF වැනි ජාත්‍යන්තර සංවිධානවල අවශ්‍යතාවට කියලා. එහෙම නෙවෙයි අපි අදටත් විශ්වාස කරන්නේ මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත්කළ හැක්කේ මේ රටට ගැළපෙන අපට ඔබින ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කැපවීමෙන් බවයි.

අපි පක්ෂයක් ලෙස අද ගමින් ගමට යන විට අපට දැනෙනවා අපෙන් දුරස්වී සිටි පිරිස් නැවත අප සමඟ එක්වෙනවා කියලා. මේ වන විට අපි පක්ෂයක් ලෙස මෙහි සංවිධාන කටයුතු සාර්ථකව කරගෙන යනවා. අපි ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම්.”

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

“අද ජේවීපීකාරයෝ තොත්ත බබාලා වෙන්න හදනවා. 71 කැරැල්ල, 88/89 කැරැල්ල මේ රටේ මහජනතාවට අහිමි කළ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 50ක් වෙනවා. ඒ වගේමයි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් රටට ඩොලර් බිලියන 200 ආදායමක් අහිමි කළා. පසුගිය 76 වසරක කාලයේ මේ රටේ ස්වර්ණමය යුගය ලෙස මම දකින්නේ 2005 – 2015 අතර මහින්ද රාජපක්ෂ යුගයයි. යුද්ධය නිම කළා. රට ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා ගෙන ගියා.

අද රට තුළ ජනාධිපති අපේක්ෂකයන් වැහි වැහැලා. අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් ආපහු ඉස්කෝලේ යනවා සක්වළ වැඩසටහනෙන්. එයාගේ අතේ නැත්තේ චෝක් කෑල්ලයි වේවැලයි විතරයි. ඉස්කෝලවල ඉන්න පුංචි දරුවන්ට දේශපාලනය අදාළ නෑ. විපක්ෂ නායකතුමා පාසල්වලට යන තරමට හොඳයි. මොකද එක පාසලකට ගියොත් එතැන ඉන්නේ ළමයි 30යි මෙයා ඡන්ද 300ක් කඩා ගන්නවා. මම නම් කියන්නේ ඡන්දයක් එනකල් හැම ගමකම පාසල්වලට යනවා නම් හොඳයි කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි ගමක් ගමක් ගානේ ගිහිල්ලා පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩසටහන සාර්ථකව මේ වන විට ක්‍රියාත්මක කරනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

“අපි මේ පක්ෂය අලුතෙන් හදලා රටේ වැඩිම ඡන්ද ගත් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. පසුගිය මැතිවරණයේදී අපි හැට නව ලක්ෂයක් ඡන්ද ගත්තා. 2019දී බලය ගත් අප පක්ෂය කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් වට්ටන්න කටයුතු කළා. ඔව්, අපි වැටුණා. මාස කිහිපයක් අපි නිහඬව හිටියා. එදා ජේවීපීකාරයෝ අපට කිව්වේ පොහොට්ටුවට දහයක් පහළොවක් වත් සෙනඟ එකතු කරගන්න බෑ කියලා. ගමකට යන්න බෑ කිව්වා. ගමට ආවොත් එළවනවා කිව්වා. අපි ඒවට යට වුණේ නෑ.

අපි දන්නවා අපේ හයිය. ඒ වගේම මේ රටේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මහජනතාවගේ තියෙන ගෞරවය සහ ආදරය කොතරම්ද කියලා අපි දන්නවා. ඒක මේ සීයට තුනක් ගත් ජවිපෙකාරයන්ට නැති කරන්න බෑ. මහින්ද මහත්තයා මේ රටට කළ සේවය බුද්ධිමත් ආදරණීය ජනතාව දන්නවා. අපි පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර සාර්ථක ලෙස කරගෙන යනවා. අද මෙතැනට ඇවිත් ඉන්නේ රත්තොට කොට්ඨාසයේ ජනතාව. අපේ පක්ෂ ශක්තිය මෙතැන ඉන්න දහස් සංඛ්‍යාවක ජනතාවගෙන් පැහැදිලි වෙනවා. අපි ගැන සැහැල්ලුවෙන් හිතන අයට අපි මතක් කරනවා, මේ පක්ෂය අපි නැවත බලයට ගෙනත් තමයි නවතින්නේ කියලා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා

“අද මේ රත්තොටට ඇවිත් ඉන්න ජනතාව දැක්කාම අපේ පක්ෂය කෙරෙහි ජනතාව තුළ විශාල විශ්වාසයක් තිබෙන බව පැහැදිලි වෙනවා. පැමිණි ආදරණීය ජනතාවට මගේ හද පිරි ස්තූතිය පුද කරනවා. අපි පහුගිය වසර කිහිපයේ මහින්ද ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් සිදු කළා. බොරළු පාරවල් කාපට් කළා. විදුලිය, ජලය, අධිවේගී මාර්ග, ගුවන්තොටුපළ, නෙළුම් කුලුන වැනි සංවර්ධන වැඩසටහන් රැසක් සිදු කළ ජනතාවගේ විශ්වාසය දිනූ පක්ෂයක්.

2015 කුමන්ත්‍රණකාරී වැඩසටහනෙන් බලය ගැනීමට කටයුතු කළ සියලු නායකයන්ට අද කුමන හෝ බලපෑමකින් දඬුවම් ලැබී තියෙනවා. සමහරුන්ගේ පක්ෂ නායකකම් නැති වෙලා. තනතුරු නැති වෙලා. නඩු වැටිලා. හැමදාම උසාවි ගානේ. දැන් ඒ කුමන්ත්‍රණයට හවුල් වූ පිරිස නිවටයන් ගානට වැටිලා අවසන්.

මම මේ රටේ ජනතාවට පොරොන්දු වුණේ රට විකුණන්න, රට කෑලි කෑලිවලට කඩන්න නෙවෙයි. ඒ වගේමයි එදා අරගලකාරීන් අපෙන් වැරදි විදිහට ගත් බලය නැවතත් අපි ගන්නවා කියන එක විශ්වාසයෙන් කියනවා.”

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා

“මාතලේ දිස්ත්‍රික්කය කියන්නේ ඈත අතීතයේ සිටම අභියෝගවලට සූදානම් දිස්ත්‍රික්කයක්. අද අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත ශක්තිමත් කිරීමේ අභියෝගය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ආසනයෙන් ආරම්භ කළා.

මේ රටට යම් වැඩ කොටසක් සිදු කළා නම් ඒ පසුගිය රාජපක්ෂ යුගය තුළයි. මාතලේ දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවට විසල් මාතලේ ජල යෝජනා ක්‍රමයෙන් විසඳුම් දුන්නා. විදුලිය, පාසල්, මංමාවත් ශීඝ්‍රයෙන් සංවර්ධනය කළා.

එදා අරගලකාරයන් රට විනාශ කර අපේ ගෙවල් ගිනි තියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහ මඟ මරා දාලා ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කළා. ඔවුන් ඒ තුළින් බලාපොරොත්තු වුණේ අපි නැවත දේශපාලනය නොකරන තැනට පත් කිරීමටයි. නමුත් අපි යළි ශක්තිමත්ව නැඟී සිටියා. ඒ බව මේ රැස්වීමෙන් තහවුරු වෙනවා. අපට නාමල් රාජපක්ෂ වැනි තරුණ නායකයෙක් ඉන්න එක ගැන ආඩම්බරයි.”

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි, නාලක කෝට්ටගොඩ, ඩී. වීරසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් ද රැස්ව සිටි ජනතාව ඇමැතූහ.

මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x