
නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ඉන්දියාවේ නවදිල්ලි නුවරදී රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා හමු වී සුහද සාකච්ඡාවක නිරත වූ අවස්ථාව.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇතැයි ඉන්දීය ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා පැවැසීය.
අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ආරාධනය සම්බන්ධයෙන් අදහස් දක්මින් ජයශංකර් මහතා ජනාධිපතිවරයා සමඟ පැවැති හමුවේ දී මේ අදහස් පළ කළේය. නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුව ඊයේ (10) පැවැත්විණි.
ඉන්දීය ආයෝජන මත මෙරට ආරම්භ කර, අතරමඟ නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතු සොයා බැලීමට නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජයශංකර් මහතා පැවැසීය. අසල්වැසියාට පළමු තැන දෙන ඉන්දීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද මෙහි දී අදහස් හුවමාරු කර ගැනිණි.
ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත කලාපය පිළිබඳ ද සාකච්ඡා කෙරුණු අතර ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බවත් ජයශංකර් මහතා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්රයන්හි බලතල නව ආර්ථික පරිවර්තන පනත මඟින් පළාත් සභාවලට හිමිවන බවයි.
එසේම සත්‍ය හා ප්‍රතිසන් පනත් කෙටුම්පත ලබන ජුලි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳ ද සාකච්ඡා කෙරුණු අතර දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනමින් තීරණයකට එළැඹීමට ද අවධානය යොමු විය. වතු ලයින් කාමර වතු ගම්මාන වශයෙන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත්, අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ ගම්මාන දියුණු කිරීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී සඳහන් කළේය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්ෂෙනුකා සෙනවිරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් සහ ඉන්දීය රජයේ දූත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.