කුරුණෑගල හෙරළියාවල කර්මාන්තපුරය ආසන්නයේ පිහිටි කුරුණෑගල වැවිලි සමාගමට අයත් රුපියල් කෝටි 35ක් පමණ වටිනාකමකින් යුත් අක්කර 17ක ප්රමාණයකින් යුත් රජයේ ඉඩමක් වංචනිකව පවරාගෙන විකිණීමට ගත් උත්සාහයක තොරතුරු අනාවරණය වී තිබේ. වයඹ දේපළ සංගමය විසින් මෙම වංචනික ක්‍රියාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. කුරුණෑගල වැවිලි සමාගමට අයත් අක්කර 17 රූඩ් 3 පර්චස් 21 ක මෙම ඉඩම වැවිලි සමාගමට ද නොදන්වා ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ අනුමැතිය ද ලබාගෙන මෙසේ වංචනිකව ඉඩම් ඔප්පු සහ ලිපි ලේඛන සකසා විකුණා ඇති බව වයඹ දේපළ සංගමයේ ලේකම් ප්රියංකර ලියනගේ මහතා ප්‍රකාශ කළේය.
හෝකන්දර දකුණ පදිංචි කාන්තාවක විසින් මෙම ඉඩම ලබාගෙන එය බටහිර කටනේ කලුවාරිප්පුව ප්රදේශයේ පදිංචි අයකුට 2022.12.19 වන දින ඉඩම් ඔප්පු අංක 477 මඟින් අක්කර 13 රූඩ් 2 ක් ලෙස සඳහන් කරමින් රුපියල් ලක්ෂ 25කට විකුණා ඇති බව අනාවරණය කරගෙන තිබේ.
හෙරළියාවල කර්මාන්තපුරයට ආසන්නව ආර්ථික අතින් ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩමේ පර්චසයක් රුපියල් 750 බැගින් ලබාගෙන එය නැවත පර්චසයක් රුපියල් 1,157 බැගින් විකුණා ඇති බව හෙළිවී තිබේ.
රජයට අයත් මෙම ඉඩමේ මැනුම් කටයුතු රජයේ මිනින්දෝරුවකු විසින් කළ යුතුව තිබුණ ද පෞද්ගලික මිනින්දෝරුවකු යොදවා මැනුම් කටයුතු සිදු කර ඇති බව සඳහන් වුවද කිසිදු අවස්ථාවක එහි මැනුම් කටයුතු සිදුකර නැති බව ද මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දෝරුවා සහ ඔහුගේ සහායකයන් ප්රදේශවාසීන් එක්ව පලවා හැර ඇති බව ද ලියනගේ මහතා පැවැසීය.
ඉඩම් මැනීමේ දිනය ලෙස 2022.12.7 වන දිනය සඳහන් වන අතර මෙම ඉඩම් ඔප්පුව අත්සන් කර ඇත්තේ සෙනසුරාදා, ඉරිදා දිනයන්ද ඇතුළුව ඊට දින පහකට පසුව 2022.12.12 වන දිනය. මෙතරම් කෙටි කාලයක දී රජයේ ආයතනයකින් ඔප්පුවක් ලබාගත නොහැකි බව ද අනාවරණය වී තිබේ.
මෙම ඉඩම කැබලි 5කට වෙන්කර ලියාපදිංචියට ඉදිරිපත් කර ඇති බව ද එසේ කැබලි කිරීම නිසා ඒ සඳහා කැබලි කිරීමේ පාලක මණ්ඩලයේ අනුමැතිය සහිත ලිපිය ලබා ගැනීමට කුරුණෑගල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ඉල්ලීමක් සිදු කළ යුතු වුවද එසේ නොකර මෙම ඔප්පු ලියාපදිංචිය කර ඇති බැවින් මෙය සංවිධානාත්මකව සිදු කරන ලද දූෂිත ඉඩම් ගනුදෙනුවක් වන බව ද ලියනගේ මහතා සඳහන් කළේය.
අවට පිහිටි පෞද්ගලික ඉඩම් කැබලි කර විකුණනු ලබන්නේ පර්චසයක් රුපියල් 200,000ත් 275,000ත් අතර ඉහළ මිලකට වන බැවින් මෙහි ඉඩම් අක්කරයක වර්තමාන වටිනාකම රුපියල් කෝටි 2ක් පමණ බව ද ඒ අනුව මෙම වංචනික ඉඩම් ගනුදෙනුවෙන් වයඹ පළාත් සභාවට රුපියල් 24,864,300ක මුද්දර ගාස්තුවක්ද අහිමිවී ඇති බව ද ප්රියංකර ලියනගේ මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධව අප කළ විමසුමක දී කුරුණෑගල වැවිලි සමාගමේ නිලධාරියකු පැවසුවේ රජයට අයත් මෙම ඉඩම වංචනිකව පවරා ගැනීමට සංවිධානාත්මක පිරිසක් විසින් ගෙන ඇති උත්සාහයකට එරෙහිව පවරා ඇති නඩුවක් මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතින බවය.