රුපියල් බිලියන 1,000 ඉක්මවූ හිඟ බදු මුදලක් අයකර ගැනීම සඳහා ගත යුතු පියවර කවරේද යන්න පිළිබඳ සාරාංශ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
වගකිවයුතු නිලධාරීන් ආදායම් එකතු කිරීම පැහැර හැර ඇති බවට වන චෝදනා ඉදිරිපත් වුවද මේ වන විටත් මෙම වසරේ ඉලක්ක ගත ආදායම ඉක්මවා යාමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව ආදී ආයතන කටයුතු කර ඇති බව ද ඒ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (10) කීවේය.
යම් යම් නිලධාරීන් සහ පුද්ගලයන් අතින් එවැනි වැරදි සිදුවන බව සත්‍යයක් වුවද සමස්තයක් ලෙස නිලධාරීන් තම වගකීම ඉටුකර ඇති බව පෙන්වාදෙන ඇමතිවරයා, කෙසේ වෙතත් මෙතරම් හිඟ බදු ප්‍රමාණයක් ඇතිවීමට සාධාරණ හේතු ඇති බව සඳහන් කළේය.
එහිදී බදු අභියාචනා ක්‍රියාවලිය මෙන්ම රජය විසින් රාජ්‍ය ආයතනවලට ගෙවිය යුතු බදු ප්‍රමාණය ද මේ සඳහා බලපාන බව සඳහන් කරන සියඹලාපිටිය මහතා, ඒ අනුව මෙම හිඟ බදු නැවත අයකර ගැනීම සඳහා පවතින අධිකරණ ක්‍රමවේදය ඉක්මන් කිරීමට ගත හැකි පියවර හා රාජ්‍ය ආයතනවලින් අයවිය යුතු බදු ප්‍රමාණය අයකර ගැනීමට හෝ ඒවා ඉවත් කිරීමට ගත හැකි පියවර කවරේ ද යන්න පිළිබඳ වාර්තාවක් ද තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ද ප්‍රකාශ කළේය. සමහර හිඟ බදු වසර 25 ක පමණ සිට පැවත එන හිඟයන් බව පවසන ඒ මහතා එම ගැටලුවලට පිළිතුරු සොයන විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ සාරාංශ සටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද, ඒ පිළිබඳ විස්තරාත්මක සටහනක් ඉදිරි පාර්ලිමේන්තු අවස්ථාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සකස්කර ඇතැයි ද සඳහන් කළේය.