පෙම්වතියගේ මුහුණ වම් අත පිළිස්සිලා
ඇසිඩ් ගැහුව පෙම්වතා හා සහයකයා පලාගිහින්
සිය පෙම්වතා විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලබා තරුණියක් ඉකුත් 07 වැනිදා රාත්‍රි කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල පොලිස් වසමේ හිරිවඩුන්න දියගම ප්‍රදේශයේ පදිංචිව සිටින 19 හැවිරිදි තරුණියකි.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණියගේ මවුපියන් මිය ගොස් ඇති බවත් ඇය තනිවම නිවසේ පදිංචිව සිටින බවත් පොලිසිය පැවසීය. පොල්ගහවෙල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරමින් උපයා ගන්නා වැටුපකින් ඇය ජීවත් වී ඇති බවත් ඇඟලුම් ආයතනයට යන එන අතරේ පොල්ගහවෙල ප්‍රදේශයේ තරුණයෙක් හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
තම පෙම්වතා වෙනත් තරුණියක සමඟ මෑත කාලයේ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුව තරුණිය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා තිබේ. තමන් කිසිම තරුණියක් සමඟ සම්බන්ධතාවයක් නොපවත්වන බව තරුණායා තරුණිය හමුවේ මීට සති දෙකකට පමණ ඉහතදී කීප වරක්ම ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය පැවසීය. තරුණිය දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් පෙම්වතාට එල්ල කරන චෝදනා ඉවසා දරා ගත නොහැකිව ඉකුත් 07 වැනිදා සවස ඇසිඩ් බෝතලයක් ගෙන තවත් හිතවතෙකු සමඟ තරුණිය පදිංචිව සිටින නිවසට ගොස් ඇසිඩ් ප්‍රහාරයක් මුහුණට එල්ල කර පලා ගොස් ඇති බව පොලිසිය පැවසීය. පසුව තරුණියගේ විලාපය ඇසී අසල්වැසියන් කිහිප දෙනෙක් පැමිණ තුවාලකාරිය ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. තරුණියගේ මුහුණට වම් අතට පිළිස්සුම් තුවාල සිදුව ඇති බව පොලිසිය පැවසීය. තරුණියගේ පෙම්වතා පොල්ගහවෙල ප්‍රදේශයේ බවත් සෙසු තරුණයා පොතුහැර ප්‍රදේශයේ බවත් ඔවුන් දෙදෙනා පලා ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. කෑගල්ල මුලස්ථාන පොලිසිය විමර්ශන කටයුතු සිදු කරයි.