Wednesday, September 18, 2024
Home » අස්වනු හානිය අවම කරන පලතුරු ඉදවන අලුත් ක්‍රමය

අස්වනු හානිය අවම කරන පලතුරු ඉදවන අලුත් ක්‍රමය

by sachintha
June 12, 2024 1:23 am 0 comment

පලතුරු ඉදවීමට භාවිත කරන ක්‍රමවේද මඟින් පලතුරුවලට වස විස එකතු වන බවට පවතින ආන්දෝලනාත්මක සංවාද හේතුවෙන් මෙසේ ඉදවන ලද පලතුරු ආහාරයට ගැනීමට පාරිභෝගිකයන් බියෙන් පසුවේ. පලතුරුවල පසු අස්වනු හානි අඩුකර, ගුණාත්මයෙන් යුතු පලතුරු වෙළෙඳපොළට හඳුන්වාදීමේ අටියෙන් පලතුරු ඉදවීම පිළිබඳ පර්යේෂණ සිදු කර ඒ සඳහා ආරක්ෂිත ක්‍රමවේද හඳුන්වාදීම කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මීට දශක එකහමාරකට පමණ පෙර සිට කටයුතු කරන ලදි. එසේ වුවද අද භාවිත වන අනිසි ඉදවීමේ ක්‍රමවේද පලතුරුවල ගුණාත්මකභාවයට මෙන්ම සෞඛ්‍යාරක්ෂිතභාවයට ද තර්ජනයක් විය හැකි බැවින් ඒ සඳහා භාවිත කළ හැකි ආරක්ෂාකාරී ක්‍රමවේද පිළිබඳ නැවත මෙසේ අවධාරණය කරමි.

ස්වභාවික පලතුරු ඉදීම සිදු වන්නේ කොහොම ද?

පලතුරු ස්වභාවිකව ඉදීම සිදුවන්නේ ඒවා උපරිම පරිණතභාවයට පැමිණි විට ඒවායින් එතිලින් නමැති රසායනික සංයෝගය නිෂ්පාදනය වීම මඟිනි. එසේ නිෂ්පාදනය වූ එතිලින් මඟින් පලතුරෙහි අඩංගු අනෙකුත් රසායනික සංයුතීන් වෙනස් වීමකට භාජන කරයි. පලතුරුවල ඇති පිෂ්ඨය සීනි බවට පත්වීම සහ ඇඹුල් කහට රසයත්, ප්‍රණීත පැණි රසට පත් වේ. එමෙන්ම ඉදීමත් සමඟ පලතුරු මෘදු බවට පත් වේ. කොළ වර්ණය අඩංගු ක්ලොරෝෆිල් නමැති රසායනික සංඝටකය කහ, රතු තැඹිලි වැනි පාට එම පලතුරට ආවේණික වර්ණය අඩංගු රසායනික ද්‍රව්‍යයක් බවට පත් වේ. ඒවා නම් ඇන්තෝසයින්, කැරට්නොයිඩ් සහ ලයිකොපීන් වැනි වර්ණකය. මෙසේ පලතුරු ඉදීම මඟින් ඒවා රසවත්භාවයට පත්වීමෙන් පරිභෝජනයට සුදුසු තත්ත්වයට පත් වේ.

අනෙක් කාණ්ඩ වනුයේ පලතුරු ඉදීමේ දී ශ්වසන වේගය වැඩි නොවන අතර එතිලින් වායුවට ප්‍රතිචාර නොදක්වන පලතුරු අයත් ක්ලයිමෙට්‍රික්-නොවන කාණ්ඩයයි. පැඟිරි කුලයේ පලතුරු (දොඩම්, නාරං), අන්නාසි, මිදි, රඹුටන්, කොමඩු ආදී පලතුරු මෙම කාණ්ඩයට අයත් වේ. මෙම පලතුරු නියමිත පරිණත අවස්ථාවේ දී නෙළිය යුතු අතර නියමිත පරිණත අවස්ථාවට පෙර අස්වනු නෙළූ විට පලතුරට ආවේණික රසය සහ සුවඳ ලබා ගැනීමට නොහැකිවේ.

පලතුරු ඉදවීමට අවශ්‍ය වන්නේ ඇයි?

වාණිජමය වෙළෙඳාමක් ලෙස කරගෙන යාමේ දී පලතුරු ස්වභාවිකව ඉදෙන තෙක් බලා සිටීමට නොහැකි බැවින් හොඳින් පැසුණු (මේරූ) පලතුරුවලට පිටතින් එතිලින් වායුව ඉතා සුළු ප්‍රමාණයක් ලබාදීම මඟින් ස්වභාවික පලතුරේ ඇති ස්වභාවික එතිලින් වායුව නිපදවීම උත්තේජනය වීම නිසා ඉදීම ඉක්මන් කළ හැකිය. තවද, ඉදුණු පලතුරුවල මෘදු බව නිසා ප්‍රවාහනයේදී පසු අස්වනු හානි වැඩිපුර සිදු විය හැකිය. එබැවින් පැසුණු පලතුරු අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර ඉදවීම සිදු කිරීම මඟින් හානි අඩු කරගත හැකිය. සමහර පලතුරු වර්ග ස්වභාවිකව ඉදීමට ලක්වීමට ඉඩ හැරීමේදී රෝග හටගැනීමේ වේගය ඉදීමේ වේගයට වඩා ඉක්මන් වීම මගින් පසුඅස්වනු රෝග නිසා සිදු වන හානිය වැඩිවේ. මෙහිදී හොඳින් පැසුණු ක්ලයිමෙට්‍රික් කාණ්ඩයට අයත් පලතුරු පමණක් බාහිරින් එතිලින් වායුවට නිරාවරණය කිරීම මගින් ඉක්මනින් ඉදවාගත හැකිය.

පලතුරු ඉදවීමට භාවිත කරන විවිධ ක්‍රම:

ඉතා පුරාණයේ සිට අද දක්වා දුම් ගැසීමේ ක්‍රමවේදය භාවිත කරයි. දුම් ගැසීමේ දී භාවිත කරන විවිධ ශාක පත්‍ර නිසා පිටවන වායුවේ ඇසිටලින් සහ එතිලින් යන වායුවල සම්මිශ්‍රණයක් අංශු මාත්‍ර ලෙස තිබීම නිසා එමඟින් පලතුරු ඉදවීම සිදු කරයි. කෙසෙල් සහ අඹ වැනි පලතුරු ඉදවීමට දුම් ගැසීම භාවිත කළ හැකි නමුත් සමහර අවස්ථාවල දී ඒකාකාරව පලතුරු ඉදීම සිදු නොවීම ගැටලුවකි.

කැල්සියම් කාබයිඩ් (කර්මාන්තවලින් පිටවන අතුරු නිෂ්පාදනයක්) යොදා පලතුරු ඉදවීම පසුගිය වකවානුවල බහුලව සිදුකෙරිණි. කැල්සියම් කාබයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කළ විට නිපදවන ඇසිටලින් වායුව පලතුරු ඉදවීමට යොදාගැනිණි. කාබයිඩ් නම් රසායන ද්‍රව්‍ය භාවිතා කර පලතුරු ඉදවීම 1993 ඔක්තෝබර් 14 වන දින ශ්‍රී ලංකා රජය මඟින් නිකුත් කරන ලද අංක 788/7 දරන ගැසට් නිවේදනය මගින් තහනම් කර ඇත.

පලතුරු ඉදවීම සඳහා ඉතාමත් ආරක්‍ෂිත ක්‍රමයක්:

මෙහිදී පලතුරු ඉදවීම සඳහා භාවිත වන රසායනික ද්‍රව්‍ය වන්නේ එතෆෝන් (එත්රල් යන වෙළඳ නාමයෙන් වෙ‍ෙළඳපොළෙහි ඇති 2-Chloroethylphosphonic Acid) නම් දියර රසායනික ද්‍රව්‍යයයි. මෙම එතෆොන් දියරය ජලය සමග මිශ්‍ර කර භෂ්මයක් (කෝස්ටික් සෝඩා – NaOH) එක් කිරීම මඟින් පලතුරවල ඇති ස්වභාවික එතිලින් වායුවට සමාන වායුවම නිපදවා ගත හැකිය.

ඉදවීමට අවශ්‍ය පලතුරු ප්ලාස්ටික් කූඩවල අසුරා එම කූඩ එක මත එක තබා සකස් කරගත යුතුය. ඉන්පසු ඉදවීමට අවශ්‍ය පලතුරු වර්ගය අනුව එම එතෆෝන් රසායන ද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණයක් භාජනයකට දමා ජලය සමඟ මිශ්‍ර කර ගෙන එම බඳුන පලතුරු සහිත ප්ලාස්ටික් කූඩ අතර (රූපය 1 ) තබන්න. අවසන් වශයෙන් භෂ්මය (NaOH) සුළු ප්‍රමාණයක් මෙම ජලය සහ එතෆෝන් සහිත බඳුන තුළට එක්කර වහාම එම ප්ලාස්ටික් කූඩ පොලිතින්වලින් හොඳින් ආවරණය කිරීම මඟින් නිපදවන එතිලින් වායුව පිටතට යා නොදීමට වගබලා ගත යුතුය. මෙසේ පැය 24ක් පමණ පලතුරු ඇටවුම ආවරණය කර තැබීම මඟින් රසායන ක්‍රියාවලිය නිසා පිටවන එතලින් වායුවෙන් පලතුරු ඉදීම උත්තේජනය වේ. පය 24කට පසු ආවරණය ඉවත් කර පලතුරු වාතාශ්‍රයට නිරාවරණය වන ලෙස තැබීම මඟින් ඉක්මනින් ඉදීම සිදුකරගත හැකිය. මහා පරිමාණයෙන් ඉදවීම සිදු කරන විට හොඳින් මුද්‍රා තැබිය හැකි කුටීරයක් / ඉදවීමේ කාමරයක් භාවිත කළ හැකිය. ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 2000 ක් ඉදවීම සඳහා එතෆෝන් මිලිලීටර් 2.5, ජලය මිලිලීටර් 20ක් සහ කෝස්ටික් සෝඩා – NaOH ග්‍රෑම් 2.5ක් ප්‍රමාණවත් වේ. මෙහිදී කිසිවිටකත් රසායනික ද්‍රව්‍ය පලතුර මත ගැටීමක් සිදු නොවන අතර ස්වභාවිකව සිදුවන ඉදීමකට සමාන ආකාරයට සිදුවන බැවින් මෙම ක්‍රමය ඉතා ආරක්‍ෂිතය. මෙසේ ඉදවා ගන්නා ලද පලතුරු ආහාරයට ගැනීමට කිසිවිටකත් බියවිය යුතු නැත.

පලතුරු මතට එත්රල් හෝ එතෆෝන් නමැති රසායන ද්‍රව්‍ය විසුරුමක් ලෙස යෙදීම හෝ එම ද්‍රාවණයේ පලතුරු ගිල්වීම සිදු නොකළ යුතුය. එසේ කිරීම මඟින් මෙම රසායන ද්‍රව්‍ය පලතුරු මත තැන්පත් වීම හෝ පලතුරු තුළට ඇතුළු වීම සිදුවිය හැකිය. බොහෝ පලතුරු වෙළෙන්දන් මෙසේ එතෆෝන් රසායනිකය අධි මාත්‍රාවකින් පලතුරු මතට යෙදීම නිසා පලතුරු පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වේ. මෙම රසායන ද්‍රවයම පලතුරු මත නොගැටෙන අයුරින් ඉතාම ආරක්ෂාකාරී අන්දමින් පලතුරුවල ස්වභාවිකව පවතින එතිලින් වායුව නිපදවා ගැනීමට පහසුවෙන් යොදා ගත හැකිව තිබියදී වැරදි ක්‍රම අනුගමනය කිරීම නිසා පලතුරුවලට වස විස එක්වීමේ අවදානමට ලක්ව ඇත. තවද අඹ වැනි පලතුරු ගස් බද්දට ගැනීම නිසා ගසේ ඇති පැහුණු අඹ පමණක් නොව අමු අඹ සියල්ලම පවා එතිලින් යොදා කෘත්‍රිමව ඉදවීම මඟින් ආවේණික රසය සහ සුවඳ විඳගැනීමට පාරිභෝගිකයාට නොහැකිවේ.

මහාචාර්ය ඉල්මි ජී. එන්. හේවාජුලිගේ සහ ආචාර්ය විමර්ශී ලියනාරච්චි

කාර්මික තාක්ෂණ ආයතනය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x