සුන්දරත්වයෙන් ලොව අද්විතීය ස්ථානයක් හිමිකරගෙන තිබෙන ශ්‍රී ලංකාව මේ වසරේ ගිම්හාන ඍතුවේදී සංචාරය කළ යුතුම රටවල් තුන අතරට ෆෝබ්ස් සඟරාව ඇතුළත් කර තිබේ.
අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියක් ලබා සිටින ෆෝබ්ස් සඟරාව මඟින් ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවකට අනුව 2024 ගිම්හාන ඍතුවේදී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසස් රාජ්‍ය නම් කර ඇත.
ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබේ. මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කොවිඩ් වසංගතයට පෙර පැවැති තත්ත්වයට බොහෝ දුරට පැමිණ ඇතැයි ද එහි සඳහන්ය. මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයන් මිලියන 285ක් ජාත්‍යන්තරව සංචාරය කර ඇතැයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දී තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක වැඩි වීමක් බව ද එහි සඳහන්ය. ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකානුවන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට නියමිත අතර 2022, 2023 කාලය තුළ පමණක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර මිලියන 24ක් නිකුත් කර ඇති බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි. මේ වසරේ ගිම්හාන ඍතුවේදී සංචාරකයන් යුරෝපා රටවලින් ඈත්ව සිටිය යුතු බව ද ෆෝබ්ස් සඟරාව පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව සශ්‍රීක උස්බිම්වලින් සහ විස්මිත වෙරළ තීරයන්ගෙන් යුත් දූපතක් වන අතර බාලි හා සමාන සංචාරක ආකර්ෂණයක් පවතින බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි. සංචාරකයන් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා බොහෝ ස්ථාන පවතින බව ද එම වාර්තාවේ සඳහන් වෙයි. දරුණු ආර්ථික අර්බුදයෙන් සහ මෑතකාලීන සිදුවීම්වලින් සුවය ලබමින් සිටින ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පෙරමුණේ පසුවන බව ද ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර පසුගිය මැයි මාසය තුළදී සංචාරක කර්මාන්තය ඔස්සේ ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම රුපියල් කෝටි 4,650ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 154) බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි. ඒ අනුව 2024 වසරේ මුල් මාස 05 තුළ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,405.6ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2023 වසරේ මුල් මාස 05හි සංචාරක ඉපැයීම් වටිනාකම් වූ ඩොලර් මිලියින 752.1 හා සැසඳීමේදී සියයට 86.9ක කැපීපෙනෙන ඉහළ යෑමකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ 2024 වසරේ ජූනි 05 වැනි දින දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් ගණන 912,445ක් බවයි.
මහින්ද අලුත්ගෙදර