Home » වීදි සුනඛ වර්ධනයෙන් ජල භීතිකාව ආයෙත් හිස ඔසවලා

වීදි සුනඛ වර්ධනයෙන් ජල භීතිකාව ආයෙත් හිස ඔසවලා

-සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ, විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ

by sachintha
June 12, 2024 3:50 am 0 comment

වීදි සුනඛ ගැටලුව යළිත් කතාබහට ලක්ව ඇත. කඩිනම් ප්‍රතිකාර නොගතහොත් අනිවාර්යයෙන්ම මරණය උරුම වන මාරාන්තික රෝගයක් ලෙස ජලභීතිකාව හැඳින්විය හැකියි. එහෙත්, අප සමාජයේ ඇතමුන් තවමත් මේ සම්බන්ධව දක්වන්නේ අවම උනන්දුවකි. මෙරට නවතම දත්ත අනුව ජලභීතිකාව වැලඳීමෙන් වසරකට පුද්ගල මරණ 20- 30ක් පමණ වාර්තා වී ඇත. ජලභීතිකා නිවාරණ එන්නත් වසරකට ලක්ෂයක් පමණ පුද්ගලයන් වෙත ලබා දෙයි. එම එන්නත් වෙනුවෙන් රජය වසරකට විශාල වියදමක් දරයි. මේ කරුණු කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සමඟ

අප කළ සාකච්ජාව මෙසේ දක්වමු.

ජලභීතිකා වයිරසය ශරීරගත වූ විට සපා කෑ ස්ථානයේ ඉදිකටු අනිනවා මෙන් දැනීම, උණ, හිසරදය වැනි රෝග ලක්ෂණ මතු විය හැකියි.

ජලභීතිකාවට ලබා දෙන එන්නත ඉතාම ආරක්ෂාකාරියි

සුනඛයෙකු සපා කෑ විට ක්ෂණිකවම කළ යුත්තේ තුවාලය සබන් ගා හොඳින් පිරිසුදු කිරීමයි.

ගැහැනු සතුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ රජය මඟින් සිදු කරනවා

 

l සුනඛයින් එන්නත් කිරීමේ වැඩපිළවෙළ දැන් ගම් මට්ටමින් ක්‍රියාත්මක නොවන බවට ජනතාව චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් රජයේ නිසි වැඩපිළිවෙළක් නැතිද?

සුනඛයින් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ නවත්වා නැහැ. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. නමුත්, මේ වන විට එන්නත්කරුවන්ගේ හිඟයක් පවතිනවා. ජලභීතිකා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට නම්, සුනඛ ගහනය 70% කින්වත් එන්නත්කරණය කිරීම් සිදු කළ යුතුයි. නමුත් මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අංශයේ දත්ත අනුව අපේ රටේ මෙය 50% කටත් වඩා අඩු තත්ත්වයක පවතින බව නිරීක්ෂණය වෙනවා. මේ සඳහා ප්‍රාදේශීය වෛද්‍ය කාර්යාල හරහා ගම් මට්ටමින් වඩාත් විධිමත්ව මෙම වැඩපිළිවෙළ සිදු කිරීමට අපි යෝජනා ඉදිරිපත් කරල තියෙනවා. හැබැයි අපි අපේ නි‍ෙවසේ ඇති කරන සත්ත්වයෙකු අසනීප වූ විට රජයෙන් ප්‍රතිකාර ලබා දෙන තුරු සිටින්නේ නැහැ. ඒ වගේ තමන්ගේ නි‍ෙවසේ ඇති කරන සත්ත්වයන් එන්නත් කරවා ගැනීම ජනතාවගේ ද වගකීමක්.

l නි‍ෙවසේ ඇති කරන සුනඛයින් එන්නත් කිරීම ජනතාවගේ වගකීම වගේම වීදි සුනඛ ගහනය පාලනයට වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ වගකීමක් නේද?

නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මකයි. මෙම වැඩපිළිවෙළ වීදි සුනඛයන්ගේ වර්ධනය පාලනය වීමට හේතුවක් වෙලා තියෙනවා. තැන තැන කැළිකසල නිසි පරිදි බැහැර නොකිරීමෙන් වීදි සුනඛයන් පෝෂණය වී වසරකට දෙවතාවක් පැටවුන් බිහි කරනවා. ඇතමුන් වීදි සුනඛයින්ව පෝෂණය කරනවා. බත් පැකට් සකස් කර වීදි සුනඛයින්ට බෙදා දෙන පිරිස් මෙන්ම දෛනිකව ආහාර ලබා දී වීදි සුනඛයින් පෝෂණය කරන පිරිස් ඉන්නවා. සතුන්ට ආදරය කරුණාව දක්වනවා නම්, එම සතුන්ට ආහාර මෙන්ම එන්නත් ආදිය ද නිසි පරිදි ලබා දීම සිදු කළ යුතුයි.

ගැහැනු සතුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ ද රජය මඟින් සිදු කරනවා. පසුගිය වර්ෂයේ මෙම වැඩපිළිවෙළ සඳහා මිලියන 70ක් විතර වෙන් කරල තියෙනවා. නමුත් අපේ රටේ සුනඛ ගහනය අනුව මෙම එන්නත්කරණය ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා ප්‍රතිපාදන ගැටලු පවතිනවා. මේ නිසා ජනතාව ද මේ තත්ත්වය අවබෝධ කර ගෙන වගකීමෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්.

l ජලභීතිකා රෝගය වැලඳීමට සුනඛයෙකුගේ සපාකෑමකටම ලක් විය යුතුද?

ගෙවල්වල ඇති කරන බළලුන්ගෙන් මෙන්ම ගෙවත්තේ දක්නට ලැබෙන මුගටියන්, ඌරුමීයන්, උගුඩුවන් වැනි සතුන්ගෙන් ද කැලෑ සතුන් වන නරියන්, දඬු ලේනන්, උරුලෑවන්, බළලුන් වැනි සතුන්ගෙන් ද මෙම රෝගය අපට වැලඳීමට ඉඩකඩ පවතිනවා.

ජලභීතිකා වයිරසය ශරීරගත වූ සුනඛයෙකුගේ සපාකෑමකට ලක්වීම මෙන්ම ජලභීතිකාව වැලඳුණු සතෙකුගේ කෙළ තැවරීමෙන් ද මෙම වයිරසය ශරීරගත වීමට හැකියාවක් පවතිනවා. ඛේටය තැවරීමෙන් නීරෝගි සමක් හරහා මෙම වයිරසය ශරීරගත වීමට හැකියාවක් නැහැ. නමුත් සම මතුපිට පවතින තුවාලයක් මත ජලභීතිකාව වැලඳුණු සතෙකුගේ කෙළ තැවරීමෙන් එම වයිරසය ශරීරගත වීමට පුළුවන්. ඒ නිසා අපේ ශරීරයේ සතෙකුගේ කෙළ තැවරුණොත් අනිවාර්යයෙන්ම එය සබන් යොදා පිරිසුදු කර ගත යුතුයි.

l සුනඛයෙකු සපා කෑ විගසම අප ක්‍රියාකළ යුත්තේ කෙසේද?

සුනඛයෙකු සපා කෑ විට ක්ෂණිකවම කළ යුතු ප්‍රතිකාරය වන්නේ එම තුවාලය සබන් හා වතුර යොදා අඩු තරමින් මිනිත්තු 05ක්වත් හොඳින් පිරිසිදු කිරීමයි. ඉන් පසු අයඩීන් ද්‍රාවණයෙන් හෝ සර්ජිකල් ස්ප්‍රිතු යොදා තුවාලය තවදුරටත් පිරිසුදු කර සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත යා යුතුයි.

l බොහෝවිට බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ තමන් දන්නා සුනඛයෙකු සපා කෑ විට එම සුනඛයා නිරීක්ෂණය කරමින් සිටීමයි. මෙය ප්‍රමාණවත් පියවරක් ද?

සුනඛයා නිරීක්ෂණය කරමින් සිටීම කිසිසේත් ප්‍රමාණවත් නැහැ. සුනඛයෙකු සපා කෑ විගස මුලින් කී පරිදි තුවාලය පිරිසිදු කර රෝහලකට යාම සිදු කළ යුතුයි. ජලභීතිකාව නිසා සිදු වූ මරණ බොහොමයක් රෝහල්ගත නොවීමේ ප්‍රතිඵලයි. බොහෝ දෙනා තමන්ගේ නි‍ෙවසේ ඇති කරන සුනඛයා සපා කෑ විට ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. තමන්ගේ සුනඛයාට එන්නත් ලබා දී ඇති බවට ඇති විශ්වාසය නිසා. නමුත් තමන්ගේ නි‍ෙවසේ ඇති කරන සුනඛයාගේ සපා කෑමට ලක්ව මරණයට පත් වූ අවස්ථා වාර්තා වෙලා තියෙනවා. දවස් 14ක් සුනඛයා ජීවත් වනවා නම් සුනඛයා සපාකන අවස්ථාවේදී එම සුනඛයාට ජලභීතිකාව වයිරසය ශරීරගත වී නැති බවට නිගමනය කරන්න පුළුවන්. දවස් 14 ට කලින් සුනඛයා අතුරුදන් වීමට ද පුළුවන්. මේ නිසා වඩාත්ම වැදගත් වන්නේ සුනඛයා එන්නත් කළ වාර්තා ඇතුළත් කාඩ්පත් ඇත්නම් එය ද රැගෙන රෝහල වෙත යාමයි. එම තොරතුරු ද තුවාලයේ ස්වාභාවය, දත් පහරවල් තුවාලයේ ගැඹුර, තුවාල ගණන මේ සියල්ලම වෛද්‍යවරයා නිරීක්ෂණය කර නිගමනයකට පැමිණෙනවා.

l ජලභීතිකා රෝගය වැලඳුණ සුනඛයෙකු හඳුනා ගන්නේ කෙසේද?

සුනඛයෙකුට රෝග ලක්ෂණ පහළ වීමට දින 14 කට කලින් සිටම වුවත් ඛේටයේ මෙම වයිරසය තිබීමට හැකියාව පවතිනවා.

සාමාන්‍යයෙන් සුනඛයෙකු සතුව ඕනෑම ආකාරයක හැසිරීමේ වෙනසක්, උදාසීන බව, උණ ඇති බව, ජලය හා ආහාර ප්‍රතික්ෂේප කිරීම, ගිලීමට ඇති අපහසු බව, වමනය සහ පාචනය, මුඛයෙන් සෙම වැගිරීම, බුරන ශබ්දයේ වෙනසක් ආදී වශයෙන් රෝග ලක්ෂණ පවතිනවා නම්, ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත්. එය බොහෝ දුරට පිස්සු බලු රෝගය හෙවත් ජලභීතිකා වයිරසය වැලඳුණු සතෙකුගේ ලක්ෂණයි. ගොළු බස හා වියරු බස ලෙස මෙය දෙයාකාරයක්. වියරු බස පහසුවෙන් හඳුනාගත හැකි වුවත් ගොළු බසේ දී සුනඛයා සමාජයෙන් ඈත්ව හුදකලා වන බවක් දක්නට ලැබෙනවා. නමුත්, අපට බහුලව දකින්නට ලැබෙන්නේ මේ ගොළු බස තත්ත්වයයි.

l ජලභීතිකා වයිරසය ශරීරගත වීමෙන් මිනිසුන්ට ඇති වන රෝග ලක්ෂණ ගැන ද පැහැදිලි කිරීමක් කළහොත් ?

ජලභීතිකා වයිරසය ශරීරගත වීමෙන් මිනිසුනට ද සපා කෑ ස්ථානයේ ඉදිකටු අනිනවා මෙන් දැනීම, උණ හිසරදය හා ශරීරයේ වේදනාව, වමනය, ගිලීමට ඇති අපහසුතාව ආදි රෝග ලක්ෂණ මතු විය හැකියි.

* මිනිස් ශරීරයට ජලභීතිකා වයිරසය ඇතුළු වුවහොත් ඉක්මනින්ම රෝග ලක්ෂණ මතු වෙනවාද?

සාමාන්‍යයෙන් බහුතරයකට මාසයක් හෝ මාස තුනක් පමණ කාලයක් ගත වෙනවා. දවස් හතරෙන් පහෙන් රෝග ලක්ෂණ මතු වන අවස්ථාත් පවතිනවා.

l සුනඛයා මරණයට පත් වුවහොත් හිස කඳෙන් වෙන්කර රෝහල වෙත යොමු කළ යුතු බවට මතයක් තිබෙනවා නේද?

සතෙකුගේ සපාකෑමකට ලක් වූවා නම්, එම සතා අයිතිකරුවෙකු සිටින සතෙකු නම් දින 14 ක් පුරා සතාව නිරීක්ෂණය කළ යුතුයි. සුනඛයාගේ හැසිරීමේ වෙනසක් මතු වුවහොත් වහාම රෝහල වෙත දැනුම් දිය යුතු අතර සුනඛයා මරණයට පත් වුවහොත් හිස කඳෙන් වෙන්කර පැය 08 ක් ඇතුළත කාලයකදී සුනඛ හිස රෝහල වෙත ගෙන යා යුතුයි. මේ සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මෙම පරීක්ෂණ සිදු කරන ස්ථාන 03ක් තියෙනවා. කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය, කරාපිටිය ශික්ෂණ රෝහල හා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයෙන් මෙම පරීක්ෂණ සිදු කරනවා.

පැය 08 ක් ඇතුළත සුනඛ හිස යැවීමට අපහසු නම් අයිස්වල බහා පැය 24ක් ඇතුළත යැවිය හැකියි. සුනඛයාට ජලභීතිකාව ඇති බවට වාර්තා වුවහොත් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුම්වත් කිරීමක් කළ යුතුයි.

බලු පැටවුන් එන්නත් කිරීමේදී ඇතමුන් අනවශ්‍ය ලෙස ප්‍රමාද කරනවා. මුල්ම එන්නත සති 04 ක් 06 ක් ඇතුළත ලබා දී මාස 03 කින් තව එන්නතක් ලබා දිය යුතුයි. ඉන් අනතුරුව වාර්ෂිකව ජලභීතිකා එන්නත ලබා දිය යුතුයි. මුල් එන්නත ලබා දෙන තෙක් කුඩා දරුවන් එම බලු පැටවුන්ගෙන් ඈත් කර තැබීම උචිතයි. මෙහිදී ලබා දෙන එන්නත් පිළිබඳ වාර්තා සුරක්ෂිතව තබා ගැනීම ඉතාම වැදගත්. දැනට සිදු වන සපා කෑම්වලින් විශාල ප්‍රමාණයක් බලු පැටුවන්ගේ සපා කෑම් බව වාර්තා වෙනවා. බලු පැටවුන්ට ජල භීතිකාව වැලඳීමේදී රෝග ලක්ෂණ තරමක් වෙනස්. ඔවුන් අධි ක්‍රියාශීලි බවක් පෙන්වනවා. ඔවුන් සුරතලයට සපා කනවා යැයි වැරදි අදහසක් ඇති වන්න පුළුවන්. ඇතමුන් මේ බලු පැටවුන් මුහුණට ළං කර ගන්නවා. මෙය ඉතාම අනතුරුදායකයි. මුහුණ ආශ්‍රිතව සපා කෑමක් සිදු වුණ හොත් ජලභීතිකාව වැලඳීමේ ප්‍රවණතාව ඉහළයි. මුහුණේ සිට මොළයට ඇති දුර ඉතාම අඩුයි. ඉතාම කෙටි කාලයක් තුළ මෙම වයිරසය මොළය කරා ගමන් කර රෝගය ඇති වන්න පුඵවන්.

l ජලභීතිකාව සඳහා ලබා දෙන එන්නත් ශරීරයට අහිතකර බවට සමාජයේ මතයක් තිබෙනවා. විශේෂයෙන්ම එන්නත් මාලාවක් ලබා දෙන නිසා බොහෝ දෙනා මෙම එන්නත් ලබා ගැනීමට මැළි බවක් දක්වනවා. මෙහි සත්‍යතාවක් තිබේද?

මේ එන්නත් ශරීරයට අහිතකර බව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මෙම එන්නත් ඉතාම ආරක්ෂාකාරීයි. ඔබ දන්නවා සමහර එන්නත් ගර්භිණී සමයේදී ලබා දීම අනුමත කරන්නේ නැහැ. නමුත් ජලභීතිකා නිවාරණ එන්නත් ලබාදීමට ගර්භිණී බවට බාධාවක් නැහැ. ගර්භිණී අයට මෙන්ම කුඩා දරුවන්ට ද මෙම එන්නත් ලබා දීම සිදු කරනවා. මෙහිදී ලබා දෙන එන්නත් මාලාව එක එන්නතක් පමණක් ලබා ගැනීමෙන් පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එන්නත් කිරීම අතරමඟ නතර කිරීමෙන් සිදුවූ මරණ ද වාර්තා වී තිබෙනවා. එන්නත ගත යුතු දිනට එන්නත මුලින්ම ගත් රෝහලට යා යුතු නැහැ. එන්නත් කාඩ් පත ඉදිරිපත් කර මෙම එන්නත් ලබා දෙන ඕනෑම රෝහලකින් එන්නත ලබා ගන්න පුළුවන්.

ඉරේෂා මධුරකාවිනී

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT