රුසියානු විදේශ ඇමැති සෙර්ගෙයි ලැව්රොව් මහතා හා ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි මහතා හමු වූ අවස්ථාව.
තවදුරටත් තම රටේ හමුදා සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා නොගන්නා බවට රුසියාව සහතික වී තිබේ. රුසියානු විදේශ ඇමැති සෙර්ගෙයි ලැව්රොව් මහතාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් රුසියානු විදේශ ඇමැතිවරයා මේ සහතිකය ලබාදී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාවෙන් රුසියානු හමුදාවලට බඳවා ගැනීම් සිදු නොකිරීමට එකඟතාවක් ඇති කරගෙන තිබේ.
රුසියානු සන්නද්ධ හමුදාවලට බැඳුණු ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි මහතා ඉල්ලීමක් ද කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ පැවැත්වෙන ‘බ්‍රික්ස් විදේශ අමාත්‍ය සැසිවාරය – 2024’ සඳහා සහභාගි වීමට මේ වන විට රුසියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි මහතා පෙරේදා (10) රුසියානු විදේශ ඇමැති සෙර්ගෙයි ලැව්රොව් මහතා සමඟ සිදු කළ ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මෙම කරුණු කෙරෙහි අවධානය යොමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම හමුවේදී, සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික සහයෝගිතාව යන ක්ෂේත්‍ර ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට විදේශ අමාත්‍යවරු දෙදෙනා එකඟ වී ඇත.
රුසියානු සන්නද්ධ හමුදාවලට බැඳුණු ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ ගැටලුව කෙරෙහි රුසියානු විදේශ ඇමැතිවරයාගේ අවධානය යොමු කරවමින් ඔවුන් මුහුණදෙන ගැටලු විසඳීමට අලි සබ්රි මහතා සහාය ඉල්ලා තිබේ.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්රමුඛ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිස සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර 2024 ජූනි 26 – 27 යන දිනවල පැවැත්වීමට නියමිත ඉදිරි රැස්වීමේදී මෙම ගැටලු සවිස්තරාත්මකව සමාලෝචනය කොට තත්ත්වය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ එකඟතාවක් එහිදී ඇති කරගෙන ඇත.
මහින්ද අලුත්ගෙදර