Wednesday, September 18, 2024
Home » ජනතාවගේ දේපළ වටිනාකම වැඩි කිරීමට ‘උරුමය’ වැඩසටහනට හැකි වුණා

ජනතාවගේ දේපළ වටිනාකම වැඩි කිරීමට ‘උරුමය’ වැඩසටහනට හැකි වුණා

-මන්නාරම් දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කරමින් ජනපති කියයි

by sachintha
June 17, 2024 1:03 am 0 comment

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට ‘උරුමය’ වැඩසටහන මඟින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘උරුමය’ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් පිරිනැමීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවති උත්සවයට එක් වෙමිනි.

මේ වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 5,000ක් පිරිනැමීමට නියමිත අතර ඉඩම් ඔප්පු 442ක් ප්‍රදානනය කිරීම මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා අතින් සංකේතවත්ව සිදු කෙරිණි. මන්නාරම් දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොහොර බෙදා දීම වෙනුවෙන් මුදල් පිරිනැමීමට අදාළ චෙක්පත් ප්‍රදානයද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. පසුගිය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂි වගා වෙනුවෙන් කෘෂි රක්ෂණ වන්දි ප්‍රදානය සහ ප්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න මිල දී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි. මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කේ. කනකේස්වරන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිහිවටන තිළිණයක්ද මෙහිදී පිළිගන්වනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය:

“පසු ගිය මාසයේ මා උතුරට පැමිණි අවස්ථාවේ මන්නාරමට පැමිණෙන බව පොරොන්දු වුණා. මන්නාරම සංවර්ධනය පිළිබඳ අපට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුරු ප්‍රදේශයේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින පවුල් 90,000ක් පමණ සිටිනවා. එයින් පවුල් 45,000කට කිසිදු ප්‍රශ්නයක් නැතිව ඔප්පු පිරිනැමීමේ හැකියාව තිබෙනවා. අනෙකුත් පවුල් 45,000 පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස මා ආණ්ඩුකාරතුමියට හා උතුරු පළාත් සභාවට උපදෙස් දී තිබෙනවා. 1935 වසරේ සිට මේ දක්වා පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම ජන කොටසකටම ඉඩම් දී තිබුණේ බලපත්‍ර වශයෙන් පමණයි. එනිසා මේ බලපත් ඕනෑම වෙලාවක අහෝසි කළ හැකියි. බලපත්‍ර ඉඩම්වලට සුරක්ෂිතභාවයක් නැහැ. ගොවීන් ගොවිතැන් කටයුතු කළත් ඔවුන්ට ඉඩම් හිමිකම ලැබුණේ නැහැ. ඇතැම් ගොවි ජනතාව අවුරුදු 85ක් තිස්සේ ඉඩම් භාවිත කර තිබෙනවා. මේ රටේ ඉඩම් අයිතිය නැති පවුල් ලක්ෂ 20ක් පමණ සිටිනවා. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ ඔවුන් වෙනුවෙනුයි. විශේෂයෙන්ම ‘උරුමය’ වැඩසටහන නිසා යළිත් ජනතාවගේ දේපළවල වත්කම වැඩි වෙනවා. ආසියාවේ කිසිදු රටක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය දී නැහැ. ඒ නිසා උරුමය වැඩසටහන රට තුළ සිදු කළ විප්ලවයක් ලෙස හඳුන්වා දිය හැකියි.

මීට අමතරව බස්නාහිර පළාතේ මහල් නිවාසලාභීන් දෙලක්ෂ පනස්දහසකට නිවාස හිමිකම දීමටද අප පියවර ගන්නවා. ඒ වගේම ආර්ථික කඩාවැටීම හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජයක් ලෙස කළ හැකි සෑම දෙයක්ම කරනවා. එදා උතුරේ ජනතාවට යුද්ධය නිසා නිවාස, දේපළ හා ඉඩම් අත්හැර යෑමට සිදු වුණා. ඒ ජනතාවට ජීවිතයේ පළමු වතාවට සින්නක්කර ඉඩම් අයිතිය හිමි වීමත් සමඟ සාමාන්‍ය ලෙස ජීවත් වීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. ඔබට ලැබෙන මේ ඉඩම් අයිතිය ආරක්ෂා කරගන්නා ලෙසද මා සියලු දෙනාගෙන් ඉල්ලනවා. එවිට ආර්ථිකමය වශයෙන් ඉදිරියට යෑමට ඔබටත් රටටත් අවස්ථාව ලැබෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා:

“ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුව විසඳීම සඳහා මෙහි පැමිණීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වෙනවා. ඉඩමක නීත්‍යනුකූල අයිතිය ලැබීම සෑම පුරවැසියකුගේම සිහිනයක් බව කිව යුතුයි. මෙතැන් සිට ඒ සිහිනය සැබෑ වෙනවා. ජනාධිපතිතුමා සියලු සැලසුම් සකස් කරන්නේ පැහැදිලි දැක්මක් ඇතිවයි. මේ රටේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනැඟීමට හැකි එකම පුද්ගලයාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපතිතුමා දේශපාලන අරමුණු පසෙකලා රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ නිසා අප එතුමාට කළගුණ සැලකිය යුතුයි. ඒ සඳහා ඔහු නැවත බලයට පත් කිරීමට අවශ්‍යයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතා:

“අඳුරු යුගයකට ගමන් කරමින් තිබූ රට බේරාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ඉඩම් ගැටලුව ඇතුළු අනෙකුත් ප්‍රශ්න විසඳීමට කටයුතු කරමින් සිටිනවා. සාකච්ඡා කර ගැටලු විසඳාගත හැකි ජනාධිපතිවරයකු අපට ලැබී තිබෙනවා. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීමට අද මෙහි පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමාට මගේ කෘතඥතාව පළ කරනවා. ජනාධිපතිතුමාගේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම අවශ්‍යයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මහතා:

“මන්නාරම දිස්ත්‍රික් රෝහල ද සංවර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දීය රජය මඟින් රුපියල් මිලියන 60ක් හිමි වන බවද සඳහන් වනවා. ඒ වගේම මුලතිව් දිස්ත්‍රික් රෝහලද තවදුරටත් දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස අප ඉල්ලා සිටිනවා. එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු රැසක් මතුව තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අද ජනාධිපතිතුමා මේ ප්‍රදේශයට පැමිණීම පිළිබඳ අප ස්තුතිවන්ත වනවා.”

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය:

“පසුගිය කාලයේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලට නිසි සංවර්ධනයක් නොලැබීම පිළිබඳ දේශපාලන නියෝජිතයන් සහ ජනතාව මැසිවිලි නඟමින් සිටියා. ඒ9 මාර්ගයේ පිහිටි අනෙකුත් දිස්ත්‍රික්වලට මෙන් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක කෙරෙහිද සංවර්ධන හවුල්කරුවන්ගේ අවධානයක් ලැබුණේ නැහැ. එබැවින් ඒ කටයුතු සොයා බැලීමට ජනාධිපතිතුමා අද මෙහි පැමිණිම පිළිබඳ එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම උතුරේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට ජනාධිපතිතුමා නිරන්තරයෙන් උතුරට පැමිණෙනවා. එතුමාගේ පැමිණීම පළාතේ රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ජනතාවටද මහත් ශක්තියක් වන අතර එමඟින් ඔවුන්ගේ ගැටලු ඍජුව ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. රජයේ සේවකයන්ගේ වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි. ජනාධිපතිතුමා සඳහන් කරන පරිදි ඒ වෙනුවෙන් ඔවුන්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා. අප සියලු දෙනා එකතු වී මේ ප්‍රදේශයේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කර දීමට කැප වෙමුයැයි මා ඉල්ලා සිටිනවා.”

මන්නාරම් දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x