Home » නාගරික උද්‍යාන ජාල කළමනාකරණය වැඩිදියුණු කිරීමට තෙත්බිම් සමුළුවේ අදහස් වැදගත්

නාගරික උද්‍යාන ජාල කළමනාකරණය වැඩිදියුණු කිරීමට තෙත්බිම් සමුළුවේ අදහස් වැදගත්

by chanaka
June 17, 2024 3:17 pm 0 comment

සෑම නාගරික තෙත්බිමක්ම මුහුණ දී සිටින ගැටලුවල පොදු ස්වභාවය සලකා බලමින් තෙත්බිම් කළමනාකරණ සම්බන්ධයෙන් පොදු විසදුම්වලට එළැඹීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස අග්‍රාමාත්‍යවරයා තෙත්බිම් සමුළුවට එක්ව සිටි විද්වතුන්ට යෝජනා කළේය.

අග්‍රමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ආසියානු සමළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. සමුළුවේ සමාරම්භක උත්සවයේ අද (17) උදෑසන වෝටර්ස් ඒඩ්ජ්හිදී පැවැත්විණි.

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව ජුනි 14 සිට 21 දක්වා බත්තර මුල්ල දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්වෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙය සංවිධානය කරයි. ලොව පුරා රටවල් පහළොවක තෙත්බිම් උද්‍යාන හැත්තෑවකට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සියයකට ආසන්න පිරිසක් ඊට සහභාගී වෙති. ශ්‍රී ලංකාව, කොරියාව, මොංගෝලියාව, පිලිපීනය, ජෝරදානය, මියන්මාරය, නවසීලන්තය, නේපාලයේ, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, පකිස්ථානය, තායිවානය, එක්සත් රාජධානිය සමුළුවට සම්බන්ධ වන රටවල් වේ.

තෙත්බිම් සංරක්ෂණය හා තිරසාර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීම සමුළුවේ අරමුණයි.

රැම්සා ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සූ සෙන්ග් ඕහ්, ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකරු ක්‍රිස් රොස්ටන් සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය එන්. එස්. විජේරත්න යන මහත්වරු මෙම සමුළුව නිල වශයෙන් සමුළුව ආරම්භ කළ බව දැන්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය,

“තෙත්බිම් සබඳතා ජාත්‍යන්තර – ආසියා ඕෂනියා සමුළුවේ සමාරම්භක උත්සවයට පැමිණීමට ලැබීම භාග්‍යයක් ලෙස මම සලකමි. “පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් සහ තෙත්බිම් මධ්‍යස්ථාන” යන තේමාව යටතේ තෙත්බිම් කළමනාකරණය පිළිබඳ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා රටවල් 15කට අධික ප්‍රමාණයක තෙත්බිම් විශේෂඥයින් 100ක් පමණ මෙම සමුළුවට එක් ව සිටිනවා.

මෙම වැදගත් විෂය සම්බන්ධයෙන් සිදු කරන ලද කාර්යය සහ මෙම සමුළුව සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මැතිතුමාට සහ නිලධාරීන්ට මාගේ ප්‍රශංසාව ද පළ කරනවා. ඕනෑ ම ප්‍රධාන නගරයක වෙසෙන ජනතාවගේ යහපැවැත්ම සඳහා තෙත්බිම් අවශ්‍යයි. අපගේ වාණිජ නගරය වන කොළඹටත් එය අදාල නිසා මෙම සමුළුව අතිශයින් වැදගත් වේ. නගරයේ මානව යහපැවැත්මට දායක වන ප්‍රතිලාභ රාශියක් මේ තෙත්බිම් මගින් ලබාදෙනවා. කොළඹ තෙත්බිම් සංකීර්ණය පළාත් පාලන ආයතන හයක් යටතේ පවතිනවා. පරිපාලන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව, කොළඹ මහා නගර සභාව, කඩුවෙල මහා නගර සභාව, කොළොන්නාව නගර සභාව, මහරගම නගර සභාව සහ දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව ඒ පලාත් පාලන ආයතනයි. මෙම ප්‍රාදේශීය පාලන ප්‍රදේශ යටතට වැටෙන නාගරික තෙත්බිම්, නගරයේ සංවර්ධන සැලසුම්කරණයේ දී ප්‍රධාන අංගයක්. වසර 150ක් පැරණි තෙත් බිම් ප්‍රතිසංස්කරණය කර ඇති අතර එය තවත් වසර 150ක් පවතිනු ඇතැයි සහතික කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා වීමට අමතර ව, පළාත් පාලන විෂය භාර ඇමැතිවරයා වශයෙන් මම මේ විෂය ගැන විශේෂ උනන්දුවක් දක්වනවා.

දකුණු ආසියාව පුරා දේශගුණික විපර්යාසවලින් සිදුවෙන බලපෑම් උත්සන්න වෙමින් පවතිනවා. සෑම දිනකම මාධ්‍ය මඟින් අපගේ ප්‍රදේශවල සිදුවෙන විනාශකාරී බලපෑම් අපි දකිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණ සමුළුවේ දී ප්‍රකාශ කළ පරිදි දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසු වනවා. කොළඹ තෙත්බිම් ගංවතුරට ලක් විය හැකි නගරය මුහුණ දෙන අනාගත අභියෝග අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සම්පතක් බවට පත් වෙමින් තිබෙනවා. අධික වර්ෂාපතනය අතරතුර, නගරයේ තෙත් බිම්වල ජලය ඝන මීටර් මිලියන ගණනක් ගබඩා කෙරෙනවා. පොම්පාගාර වැනි හරිත, යටිතල පහසුකම් (කුණාටු ජල කළමනාකරණයට අවශ්‍ය යටිතල පහසුකම්) සඳහා අපගේ මැදිහත්වීම් සහ ආයෝජන නගරයට ඔරොත්තු දෙන තත්ත්වයට පත් කර විකල්ප විසඳුම්වලට යොමුවීම වඩා ලාභදායී වෙනවා.

නාගරික තෙත්බිම් ඥානවන්ත ලෙස භාවිත කිරීම අගය කිරීම සඳහා රැම්සා තෙත්බිම් නගර ප්‍රතීතන යෝජනා ක්‍රමය මගින් 2018 වසරේ කොළඹ නගරය රැම්සා තෙත්බිම් නගරයක් ලෙස පිළිගෙන තියෙනවා. වැදගත්ම දෙය නම් තෙත්බිම් නගරයක් ලෙස පිළිගැනීම ලැබූ පළමු අගනුවර කොළඹ වීමයි. සංචාරක ව්‍යාපාරය ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇති අතර තිරසාර සංචාරක සංකල්පය ලොව පුරා මෑත වසරවලදී සැලකිය යුතු අවධානයක් දිනා තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය යනු වැදගත් ගෝලීය ඉලක්ක රාශියක් සාක්ෂාත් කර ගැනීමට දායක විය හැකි ප්‍රධාන කර්මාන්තයක්. ආර්ථික වර්ධනය, සමාජ සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂාව සමතුලිත කිරීමට උත්සාහ කරන තිරසාර සංවර්ධනය 1992 රියෝ පෘථිවි සමුළුවේ සිට ප්‍රධාන වශයෙන් අවධානයට ලක් ව ඇත. එ බැවින් පළමු තෙත්බිම් සබඳතා ජාත්‍යන්තර ආසියා – ඕෂනියා සමුළුවේ තේමාව වන “පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් සහ තෙත්බිම් මධ්‍යස්ථාන” තිරසාර සංවර්ධනය සඳහා රජයේ ජනවරම සහ උත්සාහයට බෙහෙවින් අදාළ වේ. වැදගත්ම දෙය නම්, නාගරික පරිසරයක පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ දී තෙත්බිම් උද්‍යාන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

කොළඹ නගරයේ ප්‍රධාන තෙත්බිම් මධ්‍යස්ථානය වන දියසරු උද්‍යානය තෙත්බිම් සංරක්ෂණය හා සන්නිවේදනය, අධ්‍යාපනය, සහභාගිත්වය සහ නේවාසික ප්‍රජාවන්ගේ දැනුවත්භාවය තුළින් ඥානවන්ත භාවිතය පිළිබඳ එක්රැස් වී ක්‍රියාමාර්ග ගැනීමට වැදගත් සහ සුදුසු ස්ථානයකි. තෙත්බිම් දූෂක ජලය පිරිසිදු කිරීම සඳහා ස්පොන්ජයක් ලෙස ක්‍රියා කරන අතර මසුන්, පක්ෂීන්, වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ සඳහා අභිජනන ස්ථාන සැපයීම මගින් ජෛව විවිධත්වයට සහාය වෙනවා.

මෙය අවසානයේ දේශීය හා විදේශීය සංචාරකයින් අතර පාරිසරික සංචාරක ව්‍යාපාරය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇත. නාගරික මධ්‍යස්ථාන අසල තෙත් බිම් නේවාසික, කාර්මික සහ වාණිජ පහසුකම්වලින් වැඩි වන සංවර්ධනීය පීඩනයකට ලක් ව තිබෙනවා. එ බැවින් කුඩා හෝ විශාල බව නොතකා සෑම නාගරික තෙත් බිම් කැබැල්ලක් ම තීරණාත්මක වන අතර ඒවා සුරැකීමේ වගකීම අප සාමූහිකව දැරිය යුතු වෙනවා.

නාගරික තෙත්බිම් මුහුණ දෙන ගැටලුවල පොදු බව ගැන සැකයක් නැත, ඒවා මෙහි නියෝජනය වන සියලු ම නගරවලට පොදු බව මට විශ්වාස යි. එ බැවින් විසඳුම්වල පොදු බව පිළිබඳ සලකා බලන ලෙස ගෞරවනීය විද්වතුන් වෙත මෙම අවස්ථාවේදී අවධාරණය කිරීමට කැමැතියි.

සමුළුවට සහභාගී වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. එස්. සත්‍යානන්ද මහතා පැවසූයේ,
“තෙත්බිම් සමුළුවේ සත්කාරකත්වය දරන්නට හැකිවීම ශ්‍රී ලංකාව ලැබු භාග්‍යයක්. නාගරික තෙත්බිම් රැකගැනීම සඳහා මේ සමුළුව නව ආරම්භයක් වනු ඇතැයි අපි රටක් ලෙස විශ්වාස කරනවා. ලොව වටා ඇති තෙත්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සමුළුවේදී ගනු ලබන තීන්දු සුවිශේෂි පිටිවහලක් වනු ඇතැයි විශ්වාස කරනවා.

ස්වාභාවික විපත් වලදී කොළඹ නගරය ආරක්ෂා කර ගැනීම සඳහා තෙත්බිම් සුවිශේෂ කාර්ය භාර්යක් ඉටු කරනවා. නාගරික තෙත්බිම් පරිසර අධ්‍යයන කේන්ද්‍රස්ථානද වෙනවා. නාගරික සංවර්ධනය සඳහා වගකිව යුතු අමාතයාංශයක් විදියට තෙත්බිම් ආරක්ෂාව කෙරෙහිද අපේ විශේෂ අවධානය යොමු කරනවා. ඒ නිසයි අපි නගර සැලසුම් කිරීමේදී තෙත්බිම් ආරක්ෂාව කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කරන්නේ. ඉදිරියේදී තෙත්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා රජයක් ලෙස අපි අපේ උපරිම කැපවීම දරන බව අවධාරණය කරනවා.”

මෙහිදී නැගෙනහිර ආසියාවේ රැම්සා ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සූ සෙන්ග් ඕහ් (Suh Seung Oh) මහතා විසින් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, යන මහත්ම මහත්මීන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT