රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමක් ලෙස ‘උරුමය’ වැඩසටහන යටතේ මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253කට සින්නක්කර ඉඩම් අයිතිය දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ‘උරුමය’ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් දීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253ක් අතුරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් ඇඹිලිපිටිය, මහවැලි ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) පැවැති උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.
භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ආණ්ඩුව ක්‍රියාත්මක කළා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට දීමට කටයුතු කරමින් සිටිනවා.
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිය හැකි සියලු දෙනාට ඉදිරි මාස දෙක තුළදී ඉඩම් අයිතිය දීමට කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ඉඩම් කොමසාරිස් ජනරාල්, මිනින්දෝරු කාර්යාලයේ සියලු දෙනා එක්ව ගමට ගොස් මෙම ඉඩම් ඔප්පු දීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ගමේ බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වය ලබාගත හැකියි. එවැනි වැඩපිළිවෙළක් තුළින් අපට ඉතා කාර්යක්ෂමව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනවා. පසුගිය වසර 75ක කාලය තුළ මේ රටේ ජනතාවට ඉඩම් ලබා දී තිබුණ ද සින්නක්කර ඉඩම් අයිතිය ලබා දී තිබුණේ නැහැ. අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළේ ජනතාවට එම නීත්‍යනුකූල ඉඩම් අයිතිය ලබාදීම සඳහායි. මෙය එක්තරා අන්දමේ විප්ලවයක් ලෙස ද හැඳින්විය හැකි වෙනවා.
අප රටක් ලෙස ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. සියලුදෙනාම දුක් වින්දා. අලාභය බෙදා ගත්තා. එසේ නම් රටේ ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණ තිබෙන අවස්ථාවේ එහි ලාභය ද සියලු දෙනාට හිමිවිය යුතුයි. විශේෂයෙන්ම මෙරටට බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් ද එම ප්‍රතිලාභය අත්කරදීම අපේ අරමුණයි. ගොවි ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා වගේම කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී ජනතාව දෙලක්ෂ පනස්දහසක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමට ද අප කටයුතු කරනවා. මෙම වැඩපිළිවෙළ හරහා සිදු වන්නේ ජනතාවට අයිතිය ලබාදීමයි. ඉඩමක, නිවසක හෝ වාහනයක අයිතිය මේ රටේ ජනතාවට හිමිවිය යුතුයි. 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා. වත්මන් ආණ්ඩුවෙන් දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.
මේ ප්‍රදේශයේ ගොවි ජනතාව ඉහළ වී අස්වැන්නක් ලබා ගන්නවා. නමුත් ඔවුන්ට භූමියේ අයිතිය හිමිව නැහැ. ඔවුන්ට බැංකුවට ගොස් ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. එක් පරම්පරාවක් නොවෙයි පරම්පරා තුනක් මෙම ගැටලුවට මුහුණ දුන්නා. මෙම ජනතාවට තවදුරටත් දුක් විඳීමට ඉඩ දිය නොහැකි බව ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එය මේ රටේ ගොවි ජනතාවට ස්තූති කිරීමක් ද වෙනවා. අප ආණ්ඩුව භාර ගන්නා විට රටට විදුලිය තිබුණේ නැහැ, ඉන්ධන, ඖෂධ සපයාගත නොහැකිව ජනතාව දුක් වින්දා. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අපට පළමුව සිදු වුණේ රටේ නිෂ්පාදනය වැඩි කිරීමයි. 2022 සහ 2023 යල කන්නයේ අප වී නිෂ්පාදනය වැඩි කළා. ගොවි ජනතාව අපට ඒ සඳහා ශක්තිය ලබා දුන්නා. ඔවුන්ට අවශ්‍ය පොහොර ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළා.
ගොවි ජනතාව වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන වැඩසටහන මෙතැනින් අවසන් වන්නේ නැහැ. ඔවුන්ට ඉඩම් ලබාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ග්‍රාමීය දිළිඳුකම නැති කිරීමට නම් කෘෂිකාර්මික විප්ලවයක් සිදු කළ යුතුයි. ඒ සඳහා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ඉඩම් අයිතිය හිමිවීම සමඟ තම ආදායම් ද ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව හිමි වෙනවා. ඔබ සියලුදෙනා එම වැඩපිළිවෙළේ හවුල්කරුවන් බවට පත්විය යුතුයි. අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙමින් ලබන වසර වනවිට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය වගේම ප්‍රතිව්‍යුහගත කර ඉදිරියට ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා. ඉඩම් අයිතිය නොමැතිව පරම්පරා 03ක් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව රටට කළ සේවයට මම මගේ ස්තුතිය පිරිනමනවා.
පළාතේ මහා සංඝරත්නය, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන් වන ජානක වක්කුඹුර, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, මුදිතා ප්‍රිෂාන්ති, මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කුමාරසිරි රත්නායක, සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එල්. ඩී. සී. එම්. අබේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ඔප්පුලාභීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර