අපිරිසිදු ආහාර එතැනම විනාශ කරයි
කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවේ අලෙවිය සඳහා තිබුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් හමු වූ බව දෙහිවල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතා පැවැසීය. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් නාගරික කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ වැටලීම සිදු කර තිබේ.
වත්මන් ආර්ථික තත්ත්වය හේතුවෙන් ආහාර පානවල නිෂ්පාදන තත්ත්වය, ගුණාත්මකභාවය සහ ප්‍රමිතීන් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවත් පසුගිය දින කළුබෝවල ශික්ෂණ රෝහල සහ අවට ආපන ශාලා පරීක්ෂා කිරීමේදී මෙම පරිභෝජනයට නුසුදුසු ආහාර හමු වූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවැසීය.
කළුබෝවල රෝහල තුළ ඇති ආපනශාලා දෙකෙන් වෛද්‍යවරුන් වෙනුවෙන් වෙන් කර ඇති ආපනශාලාවේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයෙන් ගබඩා කර තිබූ භාවිතයට නුසුදුසු පරණ වී තිබු පරාටා, ආහාර සඳහා පිරවුම් වශයෙන් භාවිත කරන මිශ්‍රණ සහ හොදි වර්ග රැසක් ශීතකරණ තුළ සහ බහාලුම්වල ගබඩා කර තිබියදී හමු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවැසූහ. එම ආපනශාලාව තුළ මැස්සන්ට සහ කෘමීන්ට නිරාවරණය වන සේ තබා තිබූ ආහාර රැසක් ද එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවත්, ආපනශාලාවේ හිමිකරු සහ පිරිසට නිවැරදිව ආහාරපාන නිෂ්පාදනය, සැකසීම සහ ගබඩා කිරීම් පිළිබඳ උපදෙස් ලබා දීමෙන් පසු භාවිතයට නුසුදුසු ආහාර පාන සියල්ල එම ස්ථානයේදීම ආපනශාලා හිමිකරු දැනුවත් කර විනාශ කළ බවත් බව එම නිලධාරින් ප්‍රකාශ කළේය.
රෝහල අවට ඇති අනෙකුත් ආපනශාලා සහ සුපිරි වෙළඳසැල් පරීක්ෂා කිරීමේ දී රෝහලට යාබදව ඇති සුපිරි වෙළඳ සැලක තිබී එකම ශීතකරණයක් තුළ භාවිතයට නුසුදුසු ආකාරයෙන් ගබඩා කර තිබූ මස් වර්ග එළවළු සහ කිරි ආහාර වර්ග රැසක් හමුවූ බවත් එම මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ගබඩා කර තිබූ ආහාර පාන අදාළ සුපිරි වෙළඳසැලේ කළමනාකාරීත්වය දැනුවත් කිරීමෙන් අනතුරුව ආහාරපාන ගබඩා කිරීම් පිළිබඳ උපදෙස් ලබා දී නුසුදුසු ආහාර විනාශ කළ බවත්, මෙම නුසුදුසු ආහාර අලෙවිය සඳහ තිබූ සිද්ධීන්වලට අදාළ ආපනශාලා හිමිකරු සහ සුපිරි වෙළඳසැල් කළමනාකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. මෙම වැටලීම සඳහා දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත පුෂ්ප කුමාර මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ලක්මාල්, සමන්, අමිල සහ නජාත් යන නිලධාරීහූ සහභාගී වූහ.
ගල්කිස්ස – ෂෙහාන් ජයවර්ධන