තබ්බෝව අභය භූමිය හරහා ගමන් කරමින් තිබූ මුලතිව් ඩිපෝවට අයත් ලංගම බස් රථයකට හැපී මිය ගිය වලිකුකුළෙකු රහසේම බස් රථයේ දමාගෙන ප්‍රවාහනය කරමින් සිටි රියැදුරු හා කොන්දොස්තර වනජීවී නිලධාරින් විසින් ඊයේ (17) උදෑසන අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මුලතිව් ඩිපෝවේ සිට කොළඹ සිට නැවත මුලතිව් දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක රියැදුරු හා කොන්දොස්තර බව පොලිසිය පවසයි.
අදාළ බස් රථයට කරුවලගස්වැව 12 කණුව ප්‍රදේශයේදී ජාතික පක්ෂියා ලෙස නම් කර ඇති වලි කුකුළෙක් ගැටී ඇති බවත් එසේ ගැටී තිබූ වලි කුකුළා කොන්දොස්තරවරයා විසින් බස් රථයට දමා ගන්නා ආකාරය වෙනත් රාජකාරියක් සඳහා ගමන් කරමින් සිටි කරුවලගස්වැව වනජීවී නිලධාරින් දැක තිබේ.
ඒ අනුව එම බස් රථය සාලියවැව පොලිස් මුරපොළ අසලින් නවතා පරීක්ෂා කිරීමට වනජීවී නිලධාරින් කටයුතු කර තිබූ අතර, එහිදී රියැදුරුගේ අසුන යට සඟවා තිබූ වලි කුකුළාගේ සිරුර සොයා ගැනීමට සමත්ව තිබුණි.
ජාතික පක්ෂියා බස් රථයේ ගැටී මරණයට පත්වීම හා එසේ මිය ගිය පක්ෂියා රහසේ ප්‍රවාහනය කිරීම යන කරුණු මත බස් රථයේ රියැදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක වනජීවී ඇප මත මුදාහැරීමට කටයුතු කළ අතර ඉදිරි අධිකරණ කටයුතු සම්බන්ධ නඩු දිනය මෙම සැකකරුවන්ට දැනුම් දීමට කටයුතු කරන බව වනජීවී නිලධාරීන් පවසයි.
කරුවලගස්වැව අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා සමඟ අඩවි සහකාර ජී.ජේ.වී.පී.එන්.එච්. වික්‍රමරත්න, වන සත්ත්ව නියාමක ජේ.ඩී.එම්. වනසිංහ, රියැදුරු ඩී.ඩී.එස්.පී. දිසානායක යන නිලධාරීන් වැටලීමට එක්ව තිබුණි.
පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ