Home » හොරු අල්ලන්න බලය ඉල්ලන විපක්ෂයට ජනතාව මෙදා කිසිසේත්ම මුළා වෙන්නේ නෑ

හොරු අල්ලන්න බලය ඉල්ලන විපක්ෂයට ජනතාව මෙදා කිසිසේත්ම මුළා වෙන්නේ නෑ

-පොජපෙ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by sachintha
June 18, 2024 1:20 am 0 comment

විපක්ෂය මේ රටේ පාලන බලය ලබා ගත්තේ හොරු අල්ලන්නට අපට බලය දෙන්නට කියලා. ඔවුන් බලය ගත්තට අල්ලන්නට හොරු සිටියේ නැහැ. ඒ වුණාට ඔවුන් නැවත වතාවක් බලය ඉල්ලනවා හොරු අල්ලන්නට කියලා. නමුත් මේ රටේ ජනතාව නැවත ඔවුන්ට මුළා වන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ පෙරේදා (16 වැනිදා) පස්වරුවේ මල්වානේ වල්ගම සමෘද්ධි මාවතේ පිහිටි පී.ටී.ගාර්ඩ්න් පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බියගම ආසන කාන්තා සමුළුව අමතමිනි.

බියගම ආසනයේ පො.ජ.පෙරමුණේ ප්‍රධාන සංවිධායක හා බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා විසින් සංවිධානය කරන ලද මේ කාන්තා සමුළුවට බියගම ආසනයේ කාන්තාවන් දහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

අද අපිට හොරා කියන හැම දේශපාලන පක්ෂයක්ම එහි නායකයන් එක් කඳවුරකට වෙලා 2015 දී අපට හොරා කීවා. ඔවුන් අපේ ගම්වලට ඇවිල්ලා අපේ ලැට්වළවල් පවා හෑරුවා රත්තරන් වළ දාලා කියලා. නමුත් වර්තමාන ජනාධිපතිතුමා එම භය නැති කළා. වර්තමාන ජනාධිපතිතුමා ලෝකයේ කිසිම රටක රාජපක්ෂලා අයථා අන්දමින් උපයා ගත් කිසිම මුදලක් නැහැ කියලා පරීක්ෂණවලින් සනාථ වුණා කියලා පාර්ලිමේන්තුවේ විවෘතව ප්‍රකාශයක් කරනවා.

අපි වගකීමකින් කියනවා ඊළඟ අවුරුදු තිහට හොරා කියන සංකල්පය හොරා අල්ලන්න බලයට එනවා කියන දේශපාලන පක්ෂවල සටන් පාඨය නැති කරන්නට ඉදිරි කාලසීමාව තුළ අපි කටයුතු කරනවා කියලා.

අපට මාධ්‍ය බලනවිට සමහරවිට අපටත් එය පැටලෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගහපු කෙනාගේ තාත්තා එක පක්ෂයක ඉන්නවා ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකු විධියට. පරීක්ෂණය කරපු කෙනත් දැන් ඒ පක්ෂයේමයි. ඉතින් අපටත් එය පැටලෙනවා. ගහපු එකාත් ඒ පක්ෂයේ. පරීක්ෂණ කරපු එකත් ඒ පක්ෂයේ. ඉතින් ජනතාව තුළ නීතිය හා මේ සිස්ටම් එක ගැන විශ්වාසය නැතිවන එක අහන්න දෙයක්ද? දේශපාලන වශයෙන් පිල් මාරු කරන විට අපට තවමත් සැක සහිතයි දැනුමක් තිබෙන දේශපාලන කණ්ඩායමක් අපේ රටේ ඉන්නවද නැද්ද කියන එක ගැන.

නූතන ලෝකයේ රැකියා වෙළෙඳ පොළට මුහුණ දීමට හැකි දරුවන් නිර්මාණය කරන්නට ඕනැ. නව ව්‍යවසායකයින් බිහි කරන්නට ඕනැ. ඔවුන් ජාතික හා ජාත්‍යන්තර වෙ‍ෙළඳ පොළට යොමු කරන්නට ඕනැ. ඒ සඳහා දරුවාගේ හෙට දවස සුරක්ෂිත කිරීමේ වගකීම පොදු ජන පෙරමුණ භාර ගන්නවා. ඉදිරියේ පවත්වන ඕනැම මැතිවරණයක් ජයග්‍රහණය කරන්නට අපගේ සංවිධාන ශක්තිය තර කරනවා.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නැඟෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායිකා නීතිඥ ආචාර්ය ප්‍රියන්කා ජයසේකර, බියගම ප්‍රධාන සංවිධායක, බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල හා එහි උප සභාපති අජිත් කුමාර යන මහත්ම මහත්මීහු ද කතා කළහ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, මහර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනි සුදීමා චාන්දනී, ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන හා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන සරණ ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද සහභාගි වුහ.

මල්වාන සමූහ – මහානාම විතානගේ හා දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT