Saturday, May 10, 2025
Home » දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ජපානයට සාමය උදා කිරීමට මුල් වුණේ ශ්‍රී ලංකාවයි

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ජපානයට සාමය උදා කිරීමට මුල් වුණේ ශ්‍රී ලංකාවයි

-ශ්‍රී ලංකා පදනමේ සභාපති සහ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි

by sachintha
June 19, 2024 2:53 am 0 comment

ලෝක නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ මහ සමුළුවේ ආසියානු කේන්ද්‍රය ජපානයේ ඇරඹීම අපට සුවිශේෂයි

-ශ්‍රී ලංකා පදනමේ සභාපති සහ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි

දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව ජපානයට සාමය උදාකරලීමට ශ්‍රී ලංකාව මුල් වී කටයුතු කළ බැවින්, ලෝක නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ මහ සමුළුවේ ආසියානු කේන්ද්‍රය ජපානයේ ස්ථාපිත කරලීම ශ්‍රී ලංකාවට සුවිශේෂයක් බව ශ්‍රී ලංකා පදනම සභාපති සහ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි මහතා පැවසීය.

එම කේන්ද්‍රය ස්ථාපිත කරලීම නිමිතිකරගෙන ජපානයේ තෝකියෝ නුවර පැවති විශේෂ හමුව අමතමින් අතාවුදහෙට්ටි මහතා වැඩිදුරටත් පැවසුවේ කවර ආගමකට අයත් වුණත්, කවර ජාතියකට අයත් වුණත්, කවර රටකට අයත් වුණත්, සාමය වෙනුවෙන් පෙනී සිටීම අපේ අරමුණ විය යුතු බවය. ආදරය, කරුණාව, සෙනෙහස මුළු ලෝකය පුරාම පතුරවාලීම අපේ අභිප්‍රාය විය යුතු බවය.

නොබෙල් ත්‍යාගලාභීන්ගේ ජගත් මහ සමුළුව 1999 වසරේ ආරම්භ කෙරුණේ මිහායිල් ගොර්බචොෆ් මහතාගේ මූලිකත්වයෙනි. එතැන් සිට මේ දක්වා ලෝකයේ විවිධ රටවල් කේන්ද්‍ර කරගනිමින් සාමයෙහි වැදගත්කම අවධාරණය කරන ක්‍රියාකාරකම් සමුළුවේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි. අනාගතය භාර ගැනීමට සිටින යොවුන් පරපුර අතර සාමයේ පණිවිඩය ප්‍රචලිත කරලීම මෙහි ප්‍රධාන අරමුණකි.

මහ සමුළුවේ ආසියානු කේන්ද්‍රස්ථානය ලෙස ජපානයේ කියෝතෝ නුවර නව කාර්යාලය ස්ථාපිත කරලීම වෙනුවෙන් තෝකියෝ පුරවර හරජකු නගරයේ තොගො ශාලාවේ පැවති සම්භාෂණයට ජපානයේ ප්‍රභූවරුන්, තානාපතිවරුන්, ආගමික නායකයන්, ව්‍යාපාරික ආයතන නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීයයෝ පිරිසක් සහභාගි වූහ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අතාවුදහෙට්ටි මහතා මෙසේද පැවසීය.

“අප හැමෝම ආදරය ලබන්න කැමැතියි. කරුණාව හිමි කරගන්න කැමතියි. සැනසුම විඳින්න කැමතියි. සාමකාමීව ජීවත් වෙන්න කැමතියි. අපි වගේම තමයි මේ ලෝකයේ ජීවත්වෙන අනිත් අයත්. ඔවුනුත් ආදරය ලබන්න කැමතියි. කරුණාව හිමි කරගන්න කැමතියි. සැනසුම විඳින්න කැමතියි. සාමකාමීව ජීවත් වෙන්න කැමතියි.

මාගේ රට – ශ්‍රී ලංකාව ආසියාවේ තියෙන පුංචි රටක්. හැබැයි නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අප සාමය වෙනුවෙන් පෙනී සිටියා. අප අසමත් වුණු තැන් තිබුණා. සමත් වුණු තැනුත් තිබුණා.

දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සෙ ජපානයට දඬුවම් පමුණුවන්න ලෝකයේ බලවත් රටවල් උත්සාහ දරද්දි ලංකාවේ අපි ඊට විරුද්ධ වුණා. 1951 සැන් ෆ්‍රැන්සිස්කෝ සම්මේලනය අමතමින් ලංකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන ජපානයට කරුණාව සහ ආදරය ලබා දීම වෙනුවෙන් පෙනී සිටියා. බුදුන් වහන්සේගේ ධර්මය උපුටා දක්වමින් ජයවර්ධන මහතා මෙසේ කිව්වා.

“වෛරය සංසිඳුවාලිය හැක්කේ වෛරයෙන් නොවේ. අවෛරයෙනි.”

එදා මුළු ලෝකයම ජපානයට ආදරය සහ කරුණාව ලබා දෙන්න එකඟ වුණා.

1951 වසරේ සාමයේ සතුට ලබා ගත් ජපාන වැසියන් අද ලෝක සාමය වෙනුවෙන් ආසියාතික කේන්ද්‍රස්ථානය බවට ජපානය පත් කරගැනීම එය ඉතා වැදගත් පියවරක්.

ජපානයේ සාමය වෙනුවෙන් 1951 වසරේ පෙනී සිටි ශ්‍රී ලංකාවේ අපට එය වඩාත් සතුටට කරුණක්. මේ නිසා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබ පැතුම් මම ඔබ සැමට පිරිනමනවා.

ජපානයේ ජැමෙයිකානු තානාපතිනි ෂෝනාකී රිචර්ඩ්ස් මෙනවිය හමුව අමතමින්, එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා කළ “ලෝකය ඕනෑවට වඩා සන්නද්ධ වී ඇති අතර, සාමය දුප්පත් වී ඇත.” යන ප්‍රකාශය ගෙන හැර දක්වා ගෝලීය මහජන යහපත සහ සාමය ආරක්ෂා කරලීම පිළිබඳව අප නැවත සිතා බැලිය යුතු බව පෙන්වා දුන්නා ය.

තම රටේ උපන් බොබ් මාලේ 1974 වසරේ යුද්ධය නමින් ගීතයක් නිර්මාණය කළ බව සිහිපත් කළ තානාපතිනිය එහි පද පෙළක් උපුටා දක්වමින් මෙසේද පැවසුවාය.

“එක් ජාතියක් උසස් සහ උතුම් යැයි – තවත් ජාතියක් පහත් සහ නොතකා හැරිය යුතු යැයි සිතනා තාක් කල් හැමතැනම යුද ගිනිය.” – යනුයෙන් බොබ් මාලේ ඒ ගීයේ සඳහන් කරනවා. මේ පද පෙළ සඳහා ඔහු පාදක කරගත්තේ 1963 වසරේදී එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ඉතියෝපියානු අධිරාජ්‍යයා වූ හයිලී සෙලසී කළ ප්‍රකාශයක්.

ලෝකයේ වෙසෙන අප සැම සමාන මට්ටමේ සහෝදරත්වයකින් බැඳෙන තුරු මේ යුද්ධය පවතිනවා. ඒ නිසා මිනිසත්කම ඉහළට ඔසවා තබමින් සාමය උදා කරලීමට අපි හැම දෙනාම උපරිම ශක්තිය යොදමු” යැයි ද ජැමෙයිකානු තානාපතිනිය අවධාරණය කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවිහරණය පිළිබඳ හිටපු නියෝජ්‍ය මහලේකම්, සහ හිටපු රාජ්‍යතාන්ත්‍රික නොබුකි තනකා මහතා හමුව අමතමින් අවධාරණය කළේ ලෝකය සාමය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සෑම රටකම සිවිල් සමාජ නැඟී සිටිමින් දැඩි ලෙස හඬ නැගිය යුතු කාලය දැන් එළැඹී ඇති බවය. එසේම න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට මුහුණ දුන් රටක් හැටියට ජපානය මෙම සත්කාර්යය ආසියාව පුරා ව්‍යාප්ත කිරීමේ වගකීම භාර ගැනීම ඉතා යහපත් පියවරක් බව ද තනකා මහතා පැවසීය.

නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ ජගත් මහ සමුළුවේ ජපාන කාර්යාලයේ මහලේකම්, අස්කා විදේශීය සංස්කෘතික හුවමාරුවේ සභාපතිනි ගෙන්සෙයි ඉතෝ මෙනවිය සභාව අමතමින්, “1999 වසරේ රුසියානු හිටපු ජනාධිපති මිහායිල් ගොර්බචොෆ් මහතා නොබෙල් ත්‍යාගලාභීන්ගේ ලෝක සමුළුවට මුල පිරුවා. ගෙවුණු වසර 25 පුරා ලෝක සාමය ප්‍රවර්ධනය කරන සංවිධානයක් ලෙස අප ක්‍රියාකරනවා. මේ සමුළුවේ ආසියාතික කලාපීය කේන්ද්‍රස්ථානය ලෙස ජපානය ක්‍රියා කරන්න ලැබීම සතුටට කරුණක්. අපි තෝකියෝ සහ කියෝතෝ නගර පදනම් කරගෙන විවිධ ක්‍රියාකාරකම් ඉටු කරලීමට අපේක්ෂා කරනවා. ඉහළ පෙළේ සමුළු, සම්මන්ත්‍රණ, සංවාද, මාධ්‍ය ඉසව්, ශිෂ්‍ය ප්‍රජාව දැනුම්වත් කරලීම් ආදී වැඩසටහන් සංවිධාන කෙරෙන අතර, ඒවා සඳහා නොබෙල් ත්‍යාගලාභීන් සහභාගි කරවා ගැනීමටත් අප බලාපො‍ෙරාත්තු වෙනවා” යැයි පැවසීය.

ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය තකෙදා, ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, වතිකානුවේ හිටපු ජපාන තානාපති කගෙ‍ෆුමි උයෙනො ඇතුළු ප්‍රධාන ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT