Tuesday, May 13, 2025
Home » ආණ්ඩුවේ බලවත්ම කොටස්කරුවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

ආණ්ඩුවේ බලවත්ම කොටස්කරුවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

by sachintha
June 19, 2024 3:36 am 0 comment

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ආණ්ඩුවේ බලවත්ම කොටස්කරුවා බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අගමැතිවරයා මේ බව පැවසුවේ ‘රටේ අනාගතය හා අපේ වගකීම’ මැයෙන් මහජන එක්සත් පෙරමුණ කිරිල්ලවලදී සංවිධානය කර තිබූ විශේෂ දේශනය පෙරේදා (17) පවත්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද පැවසීය:

“විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ආණ්ඩුවේ බලවත්ම කොටස්කාරයා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තමයි අපේ පාර්ලිමේන්තුවේ රටේ බලවත්ම කොටස්කාරයා. ජනාධිපතිවරයාව අප පත් කරගත්තා. එහෙත් නීති රීති හදන්න පාර්ලිමේන්තුව අවශ්‍යයි. මූල්‍ය නීති සම්මත කරන්න පාර්ලිමේන්තුව අවශ්‍යයි. පාර්ලිමේන්තුව සම්මත කරන විවිධ මූල්‍ය නීති තමයි ජාත්‍යන්තරව වලංගුභාවයෙන් ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ මන්ත්‍රී කණ්ඩායම සහෝදර පක්ෂ මහජන එක්සත් පෙරමුණ ඊපීඩීපී පක්ෂය ආණ්ඩුව ඇතුළෙ තියෙන සියලු පක්ෂවල එකමුතුවෙන් අපට මේ රට යළිත් ගොඩනඟන්න පුළුවන් අවස්ථාවකට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ පුළුවන් වුණා.

“හැමදාම තිබුණෙ හවුල් ආණ්ඩු තමයි. ආයි අලුත් එකක් කියලා හිතන්න එපා. ඩී.එස්. සේනානායක මහත්තයා නවසිය හතළිස් හතේ හවුල් ආණ්ඩුවක් හැදුවා. එක්සත් ජාතික පක්ෂ තමයි ලොකු පක්ෂය. ඒ කාලෙ ආණ්ඩුව තියාගන්න බැරි වුණාම පොන්නම්බලම් මහත්තයාව ගත්තා. ආණ්ඩුව බහුතරයක් හදාගත්තා. ඩී.එස්. සේනානායක මහතා වියෝවෙන් පස්සේ ඩඩ්ලි සේනානායක අගමැතිවරයටත් එහෙම තත්ත්වයක් උදා වුණා. පාර්ලිමේන්තුවේ ශක්තිය තිබුණාට රටේ ජනතාවගේ අමාරුකම් වැඩි වෙලා කෝච්චි ගාස්තු වැඩි කරන කොට විවිධ ආර්ථික අර්බුදයක් ඇති වෙන කොට මුළු මහත් සමාජය තමතමන්ගේ විරෝධය ප්‍රකාශ කරන දේට ආණ්ඩුවට මුහුණ දෙන්න බැරුව ගියා. ඒ අවස්ථාවේ සර් ජෝන් කොතලාවල මහතා ආණ්ඩුව භාර ගත්තා. උතුරේ මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගියා. අපේ රටේ ස්ථාවර ජන තීන්දුවක් ප්‍රකාශයට පත් කරපු අවස්ථාවල හැර අනෙක් සෑම කාලයකම අපේ රටේ හවුල් ආණ්ඩු තමයි පත් වුණේ. එක්කෝ හවුල් පෙරමුණු බලය ගන්න, බලය ගත්තට පස්සේ බලය තබාගැනීමට, හවුල් ආණ්ඩු හැදුවා. මහින්ද රාජපක්ෂ මහතාට සිද්ධ වුණා යුද්ධය ජය ගන්න කරූ ජයසූරිය මහත්තයා ඇතුළු 19 දෙනකු මෙහා පැත්තට ගන්න. අමතක කරන්න එපා. දහනව දෙනකුට ආණ්ඩුවෙ ඇමැතිකම් දීලා තමයි ආණ්ඩුව ගෙනිච්චේ යුද්ධ තියෙන කාලේ. අපි බොහොම ඉක්මනට ඉතිහාසය අමතක කරනවා.

“දේශපාලන පෙරමුණු, දේශපාලන හවුල් පාර්ලිමේන්තුව ඇතුළේත් පිටත සමාජයේත් තිබෙනවා. අලුත් බලවේග බිහි වෙනවා. අලුත් ඕනෑකම් වටා එකතු වූ පිරිස් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් මතු වෙනවා. ඒවා දේශපාලන පක්ෂ නොවුණත් සමාජය පිළිගත යුතු බලවේග ලෙස සාකච්ඡාවට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍යයි.”

දේශීය වෛද්‍ය අමුණුගම නන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, මහජන එක්සත් පෙරමුණේ උප සභාපති රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභික මහාචාර්ය නන්ද ධර්මරත්න මහත්වරුන්, මහජන නියෝජිතයන් සහ පාක්ෂිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

මහර සමූහ – ගනිඳු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT