Wednesday, March 26, 2025
Home » එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් පිහිටුවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය කාලෝචිතයි

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් පිහිටුවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය කාලෝචිතයි

-CF Ceylon Federation Of MSME සභාපතිනී සසිකා ද සිල්වා

by sachintha
June 19, 2024 2:48 am 0 comment

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති තීරණය ඉතාමත්ම කාලෝචිත වටිනා එකක් බව CF Ceylon Federation Of MSME සභාපතිනී සසිකා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බදු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා කර්මාන්තකරුවන් වඩාත් දිරි ගන්වා ඔවුන්ගේ නිපැයුම්වලට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳ පොළ දිනා ගැනීමට ඉඩ සැලසීමේ අරමුණින් ස්ථාපිත කෙරෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආයතනය ඒ සඳහා මහඟු පිටිවහලක් වනු ඇතැයිද කීවාය.

දැනට රජයේ ස්ථාපිත ආයතන රාමුවේ එකම සේවාවක් කිරීමට විවිධ නම් වලින් ආයතන රැසක් ඇත. නමුත් ඒවායේ දෙන සේවාව පිළිබඳව එතරම් ප්‍රසාදයක් නැති තරම්ය. එබැවින් වඩාත් ජනතාවට සේවා සපයන ව්‍යවසායකත්වය ගොඩනැංවීමට උදව් කරන එක් තනි ආයතනයක් පිහිටුවීමේ යෝජනාව ඉතා කාලෝචිතයි. මේ ආයතනය මඟින් දැනට රටේ මතුව ඇති ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව අදහස් හා යෝජනා අනුව විසඳුම දිය යුතුයි. එහිදී ඔවුන් ගෙන ඇති ණය සහ අනෙකුත් මූල්‍ය සමාගම්වල ගැටලු විසඳීමට ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පුළුල් දැනුමක් හා අවබෝධයක් තිබෙන පිරිසක් පත් කළ යුතුයි.එය තනිව රජයේ නිලධාරින්ගෙන් පමණක් කළ නොහැකි නිසා රාජ්‍ය හා පෞද්ගලික හවුකාරිත්වයක් යටතේ මේ ආයතනයට නියෝජිතයන් පත් කර ගැනීමට පියවර ගන්නා ලෙස තම සම්මේලනය යෝජනා කරන බව ද සභාපතිනිය කීවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් රජය ඉතා අසීරු ආර්ථික සහ ප්‍රතිසංස්කරණ ගණනාවක් කිරීමට මේ වන විට මුල පුරා තිබේ.ඒවායේ සැබෑ ප්‍රතිඵල අද නොව මතු පරපුරට ද සාර්ථකත්වය සඳහා උදව් කරන ඒවා වනු ඇත. එවැනි අරමුණකින් ආයතන ගණනාවක් අහෝසි කොට නව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආයතනය බිහි කිරීම කාලෝචිත සහ වටිනා එකකැයිද සභාපතිනිය කීවාය.

අපනයන සංවර්ධන මණ්ඩලය,ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය,කාර්මික සංවර්ධන මණ්ඩලය,ශ්‍රි ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය අහෝසි කර නව ආයතනයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. මේ සමඟම පිහිටුවන නව ආයතනය හරහා වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් ක්ෂුද්‍ර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය කර්මාන්තකරුවන්ට ලැබෙනු ඇතැයි ඇය විශ්වාසය පළ කළාය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT