Home » හේවිසි බෙර වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා

හේවිසි බෙර වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා

-ඇමැති විදුර වික්‍රමනායක

by sachintha
June 19, 2024 2:59 am 0 comment

අනාදිමත් කාලයක සිට අපේ රටට අභිමානයක් ගෙනදී ඇති අපටම ආවේණිකව පවතින හේවිසි බෙර වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැලිමඩදි පෙරේදා (17) පැවසීය. වැලිමඩ දඹවින්න පුරාණ විහාරස්ථානයේදී සංස්කෘතික අමාත්‍යංශයට අයත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ‘බදුල්ල හේවිසි හරසර’ වැඩසටහන යටතේ වැලිමඩ හා ඌවපරණගම ජීවත් වන පාරම්පරික බෙර වාදන ගුරු කුල 4කට අයත් ප්‍රවීණ වැඩිහිටි බෙරවාදන ශිල්පීන් 65 දෙනකුට උපහාර පිදීම හා නැඟී එන තරුණ පරපුරේ ශිල්පීන්ට උපහාර සහතික පත්‍රද බෙදාදීමේ උත්සවයට සහභාගි වී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ උපහාර උත්සවය ආරම්භ වීමට පෙර දඹවින්න පුරාණ විහාරාධිපති නුගලියද්දේ වජිරඤාණ හිමි ඇතුළු හිමිවරුන් ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරුව බෙරවාදන ගුරුකුල 4ට අයත් වාදන ශිල්පීහු ඇමැතිවරයා ඉදිරියේ තම බෙර වාදන හැකියා ප්‍රදර්ශනය කළහ. විහාරස්ථානයේ ධර්ම ශාලාවේ පැවති බෙරවාදන ශිල්පීන්ට උපහාර පිදීමේ උත්සවට ඇමැති පැමිණෙන විට උත්සව ශාලාවේ වාඩි වී සිටි කලාකරුවෝ අසුන්වලින් නැඟිටීමට පියවර ගත්හ. දේශපාලකයන් ඉදිරියේ කලාකරුවන් අසුන්වලින් නැඟිටීම සුදුසු නොවන බව පැවසූ ඇමැතිවරයා “ඡන්දය දෙන අය සේවකයන් බවට පත්වෙලා. ඡන්දය ගත් අය ස්වාමියෝ වෙලා. සිදු විය යුත්තේ ඡන්දදායකයන් එන විට දේශපාලකයන් අසුනින් නැඟිට ගරු කිරීමයි. ඊට හේතුව නම් දේශපාලකයා සියලු වරප්‍රසාද භුක්තිවිඳින්නේ ඡන්දදායකයා නිසා බවයි. එනිසා දේශපාලකයා තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයාට ගරු කරමින් හැසිරිය යුතු බවත් එසේ නොකර ඡන්දදායකයා දේශපාලකවරයා ඉදිරියේ අනවශ්‍ය ලෙස පසුගිය වසර 75ක කාලයක සිටම යටහත් වී සිටීමට හුරුව සිටීම නිසාම අද වන විට රට බංකොලොත් තත්ත්වයට පත් වීමට හේතු වුණා” යැයිද පැවසීය.

වැලිමඩ සමූහ – ආර්. රාජමන්ත්‍රී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT