2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ පුද්ගලයන් 58,304 දෙනකු හට ශ්‍රී ලංකාවෙහි ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.
මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා 2015 සිට 2020 දක්වා කාලය තුළ පුද්ගලයන් 63,917ක් අයදුම් කර ඇති බව ද ඇමැතිවරයා පැවසීය. එලෙස ලැබී ඇති අයදුම්පත් අතුරින් පුද්ගලයන් 58,304 දෙනකු සඳහා මෙරට ද්විත්ව පුරවැසිභාවය දී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ ද පැවසීය.
2015 වසරේ සිට 2020 දක්වා මෙරට ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර ඇති සංඛ්‍යාවන් පිළිබඳ විමසා තිබෙනවා. 2015 වසරේදී 17,126ක් ඉල්ලුම් කර තිබෙනවා. 2016 වසරේදී 14,802ක් ඉල්ලුම් කර තිබෙනවා. 2017 වසරේදී 9,549ක් ඉල්ලුම් කර තිබෙනවා. 2018 වසරේදී 9,750ක් අයදුම් කර තිබෙනවා. 2019 වසරේදී 8,702 ක් ද 2020 වසරේදී 3,988 ක් ද වශයෙන් ඉල්ලුම් කර තිබෙනවා. 2015 වසරේ සිට 2020 දක්වා අයදුම් කර ඇති මුළු සංඛාව 63,917ක් වෙනවා.
ඒ වගේම අයදුම් කර ඇති අයදුම්කරුවන් අතුරින් 2015 වසරේදී මෙරට ද්විත්ව පුරවැසිභාවය 16,184කට දී තිබෙනවා. 2016 වසරේදී 13,933කට දී තිබෙනවා. 2017 වසරේදී 8,881කට දී තිබෙනවා. ඒ වගේම 2018 වසරේදී 8,747කට දී තිබෙනවා. 2019 වසරේදී 7,405කට දී තිබෙනවා. 2020 වසරේදී 3,154කට දී තිබෙනවා. ඒ අනුව 2015 වසරේ සිට 2020 දක්වා 58,304කට දී තිබෙනවා.
සාමාන්‍ය ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්නා විට එක් දින සේවාවට නම් රුපියල් විසිදහසක් අය කළා. නැත්තම් සති දෙකක් තුළ විදෙස් ගමන් බලපත්‍ර ලබා දෙනවා. මම කියන්නේ ඔන්ලයින් ක්‍රමය නෙවෙයි. ඔන්ලයින් ක්‍රමයේදී දවස් තුනේ හා දවස් 15 ක්‍රමවේද තිබෙනවා. සමහර වෙලාවට ඔන්ලයින් ක්‍රමයේදී අයදුම්පත දාලා සල්ලි ගෙවලා සමහර විට ලබාදී තිබෙන දුරකතන අංකයට අපට කතා කරන්න බැහැ. දත්ත වැරදියි. එහෙම වුණාම ඒ අයට කොහොම හරි කතා කරලා හදන්න වෙනවා. දීලා තිබෙන දුරකතන අංක වැරදියි. එහෙමත් නැත්තම් දීලා තිබෙන විද්‍යුත් තැපෑලට ඊමේල් කළාම ඒක බලලා නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලදී ප්‍රමාද වන වෙලාවල් තිබෙනවා.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න