Saturday, May 10, 2025
Home » කොදෙව් කාන්තා පිලට එරෙහිව වසර 16කට පසු කවීෂා-විශ්මි ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් ගෙනෙති

කොදෙව් කාන්තා පිලට එරෙහිව වසර 16කට පසු කවීෂා-විශ්මි ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් ගෙනෙති

by sachintha
June 19, 2024 2:49 am 0 comment

කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව් දස්කම් සහ විශ්මි ගුණරත්නගේ සටහන්කාමී පිතිහරඹයත් හේතුවෙන් වසර 16කට පසු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව එක්දින තරගාවලි ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (18) සමත් විය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජයගත් ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදී වේලාසනින්ම තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය වාර්තා කළේ 2-0ක් ලෙසිනි.

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් වරට කොදෙව් කාන්තා පිලට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කර ඇත්තේ 2008 වසරේ නොවැම්බර් මස කොදෙව් පිලේ මෙරට සංචාරයේදීය. එහිදී තරග 5කින් සමන්විත තරගාවලිය 3-2ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිල පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 92කට දැවී ගිය අතර, එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 21.2කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී තිබියදීය.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් විශ්මි ගුණරත්න පන්දු 50කින් ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 9ක් සමඟිනි. නායිකා චමරි අතපත්තු (1), හර්ෂිතා මාධවී (0), හසිනි පෙරේරා (1) අඩු ලකුණු ගණනකට දැවී ගියද තුන් ඉරියව් දස්කම් දැක්වූ කවීෂා දිල්හාරි පන්දු 38කින් ලකුණු 28ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළාය.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිම ආරම්භයේදීම පිතිකාරිනියන්ට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබුණු අතර, රෂාඩා විලියම්ස් ලකුණු 24ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ පන්දු 62කට මුහුණ දෙමිනි. ආලියා ඇලයින් සහ අෆි ෆ්ලෙචර් ලකුණු 16 බැගින් රැස් කළ අතර, පිතිකාරිනියන් 7 දෙනකුටම ලකුණු 10 සීමාවට පිවිසීමට නොහැකි විණි. පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි කඩුලු 4ක්, චමරි අතපත්තු සහ අචිනි කෞෂල්‍යා කඩුලු 2 බැගින් දවා ගත්හ. කවීෂා ඊයේ වාර්තා කළේ සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීමයි. ඇය ලකුණු 20කට කඩුලු 4 දවාගත් අතර, ඉන් පෙර ලකුණු 41කට කඩුලු 3ක් දවා ගැනීම ඇයගේ හොඳම දක්ෂතාව විය.

මේ තරගාවලිය අයිසීසී කාන්තා එක්දින ශූරතාවලියට ඇතුළත් බැවින් ඊයේ තරගයෙන් ප්‍රසාද ලකුණු 2ක් ලබාගත් ශ්‍රී ලංකාව 6 වැනි තැන සිට 5 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.

දෙපිල අතර මේ තරගාවලියේ අවසන් එක්දින තරගය 21 වැනිදා හම්බන්තොටදීම පැවැත්වේ.

කොදෙව් කාන්තා පිල – 92 (ඕවර 31) රෂාඩා විලියම්ස් 24, ආලියා ඇලයින් 16, අෆි ෆ්ලෙචර් 16 (කවීෂා දිල්හාරි 20/4, චමරි අතපත්තු 8/2, අචිනි කෞෂල්‍යා 16/2)

ශ්‍රී ලංකා කාන්තා පිල – 93/5 (ඕවර 21.2) විශ්මි ගුණරත්න 50, කවීෂා දිල්හාරි 28 (කරිෂ්මා රාම්හරක් 29/2).

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT