– ශ්‍රී මහා බෝධිය දක්වා විශේෂ ලංගම බස් සේවයක්
– අනුරාධපුරයට බස් රථ 400ක්
අනුරාධපුර සිට මිහින්තලයට බැතිමතුන්ට නොමිලයේ ගමන් කිරීම සඳහා අද (21) සිට 23 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවාවක් යොදවා ඇතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
අනෙක් පොහොය දිනයන්හි ද අනුග්රාහකයන් ඉදිරිපත් වුණොත් එම සේවාව ලබාදීමට බලාපොරොත්තු වන බව හෙතෙම කීවේය.
ඊට අමතරව අනුරාධපුරයේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා විශේෂ බස් රථ සේවාවක් යොදා ඇති බවත් අනුරාධපුරයටත් මිහින්තලාවටත් බැතිමතුන්ට ගමන් කිරීමට බස් රථ 400කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
“මගේ අමාත්‍යාංශය යටතේ අනුරාධපුරයේ ප්‍රධාන පොසොන් උත්සවයට විවිධ අනුග්රහයන් ලබා දී තිබෙනවා. මිහින්තලාව, අනුරාධපුර නගරය ආශ්‍රිතව ගමනාගමන මණ්ඩලය විසින් බස් රථ 400කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. දුම්රිය නැවතුම්පොළේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා විශේෂ ලංගම බස් රථ සේවාවක් යොදවලා තිබෙනවා. අටමස්ථානය වන්දනා කිරීම සඳහා වෙනම බස් රථ සේවාවක් යොදවා තිබෙනවා. අනුරාධපුරයේ සිට මිහින්තලයේ හන්දිය දක්වා අලුතින් දුම්රිය මාර්ගයක් ඉදි කළා කිලෝමීටර 02ක් පමණ. ප්‍රේමදාස මහතාගේ යුගයේදී ආරම්භ කර පසුව සම්පූර්ණයෙන් අතහැර දමා තිබුණු මිහින්තලයේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරලා මිහින්තලයට වෙනකම් ආරම්භ කරලා අනුරාධපුරයේ සිට මිහින්තලයට දුම්රිය සේවාව ආරම්භ කළා. එහිදී 21, 22, 23 කියන දිනවල කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව බැතිමතුන්ට අනුරාධපුරයේ සිට මිහින්තලයට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. අනෙක් පොහොය දිනවලටත් අනුග්රාහකයන් ඉදිරිපත් වුණොත් ඒ දුම්රිය සේවය දිගටම ලබාදෙන්න අප බලාපොරොත්තු වෙනවා. පොසොන් උත්සවය නිමා වීමෙන් අනතුරුව එය වෙනත් කාර්යයන් සඳහා යොදවනවා. ජාතික රූපවාහිනිය අනුරාධපුර පොසොන් උත්සවය සඳහාත් ස්වාධීන රූපවාහිනිය සිතුල්පව්ව පොසොන් උත්සවය සඳහාත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රටේ සෑම ස්ථානයකම පවතින පොසොන් උත්සව සඳහාත් ප්‍රචාරය ලබා දෙනවා. යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ දන්සල් සහ අනෙක් දේ සඳහා තමන්ගේ පූර්ණ ශක්තිය යොදවනවා.
පොසොන් දන්සල් 20,000කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා කියලා වාර්තා වෙනවා. ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වෙලා තිබෙන වැඩිම දන්සල් ප්‍රමාණය පවත්වන බවයි ඒ මගින් වාර්තා වෙලා තිබෙන්නේ. ඒ සඳහා පෞද්ගලික අංශ, රාජ්‍ය අංශ සහාය ලබා දෙනවා. අපි කොළඹ දිස්ත්‍රික්කය තුළ බියගම, පිටිපන, මීගොඩ, හෝමාගම, පනාගොඩ ප්‍රදේශ ආශ්‍රිතව 21, 22 සහ 23 පොසොන් කලාපයක් කිලෝමීටර 13ක ප්‍රදේශය තුළ පවත්වනවා. මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පසුගිය වසරේ 60,000කට පමණ බත් දන්සලක් පැවැත්වුවා. මේ වසරේදී ලක්ෂයකට පමණ දන්සලක් පවත්වනවා.”